ජෙට්වින්ග් කලම්බෝ සෙවන් හැර අනෙක් සෑම හෝටලයකම කාමර හිස් – ජෙට්වින්ග් හෝටල් සභාපති

ජෙට්වින්ග් කලම්බෝ සෙවන් හැර අනෙක් සෑම හෝටලයකම කාමර හිස් – ජෙට්වින්ග් හෝටල් සභාපති

ජෙට්වින්ග් හෝටල් සමූහයට අයත් ජෙට්වින්ග් කලම්බෝ සෙවන් හෝටලය හැර දිවයිනේ පිහිටි අනෙකුත් සෑම ජෙට්වින්ග් හෝටලයක්ම කිසිදු සංචාරකයෙකු නොමැතිව ක්‍රියාත්මක වෙමින් පවතින බව ජෙට්වින්ග් හෝටල් සමූහයේ සභාපති හිරාන් කුරේ මහතා පවසයි. කෝවිඩ්-19 වසංගත තත්ත්වය නිසා ලොව පුරා පනවා ඇති සංචාරක තහනම් මේ සඳහා හේතුව වී ඇතැයි ඔහු සඳහන් කරයි.

මේ අතරින් ජෙට්වින්ග් කලම්බෝ සෙවන් හෝටලයේ පමණක් අද වනවිට 8%ක කාමර වෙන් කිරීමක් පවතින බවත්, එම පිරිස්ද දිගුකාලයක් මෙරට රැඳී සිටීමට පැමිණි පිරිසක් සහ සංචාරක තහනම් නිසා පිටව යාමට නොහැකිව රැඳී සිටින පිරිසක් වන බවත් සඳහන් වෙයි.

මෙම කෝවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් සිය ව්‍යාපාර කටයුතු වෙත එල්ල වී ඇති බලපෑමත්, ලැයිස්ගුත සමාගමක් ලෙස එම බලපෑම් වෙත මුහුණ දෙන ආකාරයත්, අනාගතයේදී කෝවිඩ්-19 නිසා සමාගමේ ව්‍යාපාර වෙත එල්ල වන බලපෑමත් යනාදිය සඳහන් කරන ලෙස කොළඹ කොටස් වෙළෙඳ පොළ නිකුත් කළ නිවේදනයට ප්‍රතිචාර දක්වමින් ජෙට්වින්ග් සිම්පනි පීඑල්සී සමාගම යටතේ කරුණු දක්වමින් එහි සභාපති හිරාන් කුරේ මහතා කොටස් වෙළෙඳ පොළ වෙත මේ බව සඳහන් කර තිබේ.

“කෝවිඩ්-19 වසංගතය තවදුරටත් ව්‍යාප්තවීම වැළැක්වීමේ අරමුණින් ගුවන් තොටුපොළ වසා දමා ඇති සහ ගෝලීය සංචාරක තහනම් පනවා ඇති පරිසරයක් තුළ සංචාරක කර්මාන්තය අද අබ්බගාත තත්ත්වයට පත්ව තිබෙනවා. මේ සියල්ලමත් සමග වෛරසයෙන් දැඩි පීඩාවට පත්වූ සමාගමක් ලෙස දැනට ලොව පුරා ක්‍රියාත්මක මෙම ආරක්ෂක වැඩපිළිවෙලේ ඇති වැදගත්කම අපි තේරුම් අරගෙන තිබෙනවා. ඒ වගේම සංචාරක කර්මාන්තය වෙත උදාවී තිබෙන මේ වර්තමාන අක්‍රීය අවධියද අප ගෞරවනීයව පිළිගන්නවා.” සභාපතිවරයා පවසා ඇත.

ඒ අනුව මෙම අක්‍රීය කාලසීමාව සඳහා සූදානම් වීමක් ලෙස සිය සමාගම තුළ, හෝටල් තුළ සහ එහි ශ්‍රමබලකාය තුළ පෙරට වඩා වැඩි තිරසාරත්ව ක්‍රමවේද පවත්වාගෙන යාම සම්බන්ධයෙන් වන වැදගත්කමද සිය අධ්‍යක්ෂ මණ්ඩලය හොඳින් තේරුම් ගෙන ඇතැයිද සභාපතිවරයා සඳහන් කරයි. ඒ සඳහා සිය වියදම් යම් ප්‍රමාණයකින් සීමා කිරීම ඇතුළුව ක්‍රමවේද වෙත යොමු වී ඇතැයිද ඔහු පවසයි.

“මේ සම්බන්ධයෙන් වන අපේ ක්‍රමෝපාය අභ්‍යන්තර කොටස් හිමිකරුවන්, බාහිර කොටස් හිමිකරුවන් සහ අපගේ වටිනා ආගන්තුකයන් යනාදී ලෙස තෙවැදෑරුම් වෙනවා. ඒ අනුව සෑම පියවරකදීම වඩාත් සාධාරණ සහ විනිවිදභාවයෙන් යුතුව කටයුතු කිරීමටත් අප පියවර ගන්නවා.”

මේ අතර, කෝවිඩ්-19 වසංගතය හේතුවෙන් පීඩාවට පත්ව ඇති සංචාරක කර්මාන්තය වෙත ලබා දීමට මහ බැංකුව මගින් යෝජනා කර ඇති ණය පමාසහනය සහ කාරක ප්‍රාග්ධන සැපයුම් යනාදී පහසුකම් සඳහා මැදිහත් වන ලෙසද ඔහු මෙහිදී බැංකු වෙතින් ඉල්ලා සිටියි. එම පහසුකම සිය ව්‍යාපාර තුළ සිදුවන අනාගත මුදල් ප්‍රවාහය කළමනාකරණය සඳහා තමන්ට සැනසිල්ලක් වනු ඇතැයිද සභාපතිවරයා පවසයි.

එසේම කෙටි කාලීන වශයෙන් සිය ව්‍යාපාර මෙහෙයුම් ගැන කතා කිරීමේදී, මෙම කෝවිඩ්-19 වසංගතය තව කොපමණ කාලයක් ලොව තුළ පවතීද යන්න පිළිබඳව කිසිවෙකුටවත් පුරෝකතනය කිරීම අපහසු බවද ඔහු සඳහන් කරයි. ඒ අනුව ඉදිරියේදී ඇති වන පාරිභෝගික හැසිරීම්හි වෙනස්කම් නිසි ලෙස කළමනාකරණය සඳහා මෙන්ම අනාගත දේශීය සහ විදේශීය සංචාරකයන් පිළිගැනීම සඳහා වන සිය පිරිස් පුහුණු කිරීම් වෙත මේ මොහොතේ යොමු වන බවත් ඔහු පවසයි.

මීට අමතරව මැදි සහ දිගුකාලීන වශයෙන් ගත් විට සිය සමාගම වඩාත් සර්වසුභවාදී දැක්මකින් සිටින බවත්, ලොව පුරා සිටින බොහෝ සංචාරකයන්ට ශ්‍රී ලංකාව තවදුරටත් වඩාත් හොඳ සංචාරක ගමනාන්තයක්ය යන්න සිය පූර්ණ විශ්වාසය බවත් ජෙට්වින්ග් හෝටල් සමූහයේ සභාපති හිරාන් කුරේ මහතා මෙහිදී අවසන් වශයෙන් පවසා ඇත.

හිරාන් කුරේ මහතාගේ පියා වන හර්බර්ට් කුරේ මහතා විසින් 1970 වසරේදී පිහිටුවන ලද ජෙට්වින්ග් හෝටල් යටතේ අද වන විට කොළඹ Jetwing Colombo Seven, දඹුල්ල Jetwing Lake, දික්වැල්ල UTMT by Jetwing, ගාල්ල Jetwing Lighthouse, යාපනය Jetwing Jaffna, North Gate by Jetwing, කළුතර Mermaid Hotel and Club, මහනුවර Jetwing Kandy Gallery, මීගමුව Jetwing Ayurveda Pavilions, Jetwing Beach, Jetwing Blue, Jetwing Sea, Jetwing Lagoon, නුවරඑළිය Jetwing St. Andrew’s, පානදුර Jie Jie Beach by Jetwing, පාස්කුඩා Sunrise by Jetwing පොතුවිල් Jetwing Surf, සීගරිය Jetwing Vil Uyana, වැල්ලවාය Jetwing Kaduruketha, යාල Jetwing Safari Camp, Jetwing Yala, බලපිටියේ Calamansi Cove Villas by Jetwing සහ බෙන්තොට Saman Villas,  යනාදී ලෙස ජෙට්වින්ග් සමූහයට අයත් සහ එම සමූහය මගින් කළමනාකරණය කෙරෙන හෝටල් රැසක් ක්‍රියාත්මක වෙයි.

Visits: 169