වාර්ෂික උකස් පොළී අනුපාතය 12%ක උපරිම සීමාවකට

වාර්ෂික උකස් පොළී අනුපාතය 12%ක උපරිම සීමාවකට

බලපත්‍ර ලාභී බැංකු මගින් ලබා දෙන රන් භාණ්ඩ උකස් අත්තිකාරම් සඳහා අය කළ හැකි වාර්ෂික පොලී අනුපාතය 12%ක උපරිම සීමාවකට හෝ වසරකට අඩු කාලයක් සඳහා ලබා දෙන උකස් අත්තිකාරම් සඳහා මාසයක පොලී අනුපාතය 1%ක උපරිමයකටද යටත් කිරීමට කටයුතු යොදන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

කෝවිඩ්-19 වසංගතය හේතුවෙන් ඇති වී තිබෙන ආර්ථික අර්බුදයේදී ජනතාවට කෙටි කාලීන මූල්‍ය අවශ්‍යතා සපුරා ගැනීමට සහායවීමක් ලෙස මේ තීරණයට පිවිසීමට හේතුව බව මහ බැංකුව සඳහන් කරයි.

සිය මුදල් නීති පනත යටතේ නිකුත් කරන නියෝගයක් අනුව මෙම කටයුතු සිදු වන බව  මහ බැංකුව සියලුම බලපත්‍ර ලාභී බැංකු වෙත දැනුම් දී තිබේ. ඒ අනුව මෙම උපරිම පොළී අනුපාත, මෙම නියෝගය ක්‍රියාත්මක වන දිනයේ සිට අලුතින් ලබා දෙන උකස් අත්තිකාරම්වලට සහ දැනට පවතින උකස් අත්තිකාරම් එදින සිට නැවත අලුත් කිරීමේදී අදාළ වන බවත් මහ බැංකුව සඳහන් කර සිටියි.

ඒ අනුව 2020 අප්‍රේල් 27 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි බලපත්‍රලාභී බැංකු මගින් පුද්ගලික ස්වර්ණාභරණ සුරැකුම් ලෙස තබා ගනිමින් මුදල් ණයට දීමේදී අය කළ හැකි උපරිම පොලී අනුපාතය 12%ක් බවත්, එය වසරකට අඩු කාලයක් සඳහා ලබා දෙන උකස් අත්තිකාරම් අවස්ථාවකදී මසකට 1% ක උපරිම පොලියකටද සීමා කරමින් මෙම නීති පනවා ඇතැයි මහ බැංකුව පවසයි.

“රන් භාණ්ඩ උකස් අත්තිකාරම් සඳහා බලපත්‍ර ලාභී බැංකු විසින් දැනට අය කරනු ලබන වාර්ෂික පොලිය 12% සිට 17.5% දක්වා පරාසයක පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව නිරීක්ෂණය කර ඇත. කෝවිඩ්-19 ව්‍යසනය නිසා ඇති වූ අයහපත් ආර්ථික තත්ත්වය හමුවේ, තම කෙටි කාලීන මූල්‍ය අවශ්‍යතා සපුරා ගැනීම සඳහා රන් භාණ්ඩ උගසට තබන අඩු ආදායම් ලාභීන්ට සහනයක් සැලසීමේ අවශ්‍යතාවය සලකමින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මෙම උපරිම පොලී අනුපාත සීමා පැනවීමට තීරණය කර ඇත.” මහ බැංකු නිවේදනයේ සඳහන් වෙයි.

මීට අමතරව රන් භාණ්ඩ උකස් සේවා සපයන අනෙකුත් ආයතනද සිය ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ හදිසි මූල්‍ය අවශ්‍යතා දැරිය හැකි පිරිවැයකින් සපුරා ගැනීමට සහ පසුකාලීනව එම උකසට තබන ලද ස්වර්ණාභරණ බේරා ගැනීමට හැකිවන පරිදි අඩු පොලියකට උකස් ණය පහසුකම් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරන බවද මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Visits: 79