ජනතාව අතර මුදල් හිඟකමෙන් බියර් අලෙවිය අඩුවේවි – ලයන් බෘවරි පවසයි

ජනතාව අතර මුදල් හිඟකමෙන් බියර් අලෙවිය අඩුවේවි – ලයන් බෘවරි පවසයි

කෝවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් සංචාරක කර්මාන්තයේ කඩා වැටීම මෙන්ම වැටුප් කප්පාදුව සහ රැකියා අහිමිවීම යනාදී කාරණා සමග කෙටිකාලීනව ඇති වන බලපෑම හේතුවෙන් පාරිභෝගිකයන් තුළ බියර් සඳහා වන ඉල්ලුමේ අඩුවීමක් බලාපොරොත්තු වන බව ලයන් බෘවරි (සිලෝන්) පීඑල්සී සමාගම පවසයි.

ඊයේ දිනයේදී කොළඹ කොටස් වෙළෙඳ පොළ වෙත ලිපියක් යවමින් සමාගම මේ කරුණු සඳහන් කර තිබේ. ඒ අනුව, මෙය ජනතාව තුළ ඇතිවන මුදල් හිඟකම පිළිබිඹු කරන්නක් වනු ඇති බවත්, මේ තත්ත්වය නිසා පැකට් කළ ආහාර සහ පාන වර්ග ඇතුළු පාරිභෝගික භාණ්ඩවල FMCG (Fast-moving consumer goods) ඉල්ලුම අඩුවීම සිය බියර් නිෂ්පාදන වෙතද බලපානා බවක් මෙලෙස බලාපොරොත්තු වන්නේ යැයි සමාගම සඳහන් කරයි.

මෙම කෝවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් සිය ව්‍යාපාර කටයුතු වෙත එල්ල වී ඇති බලපෑමත්, ලැයිස්ගුත සමාගමක් ලෙස එම බලපෑම් වෙත මුහුණ දෙන ආකාරයත්, අනාගතයේදී කෝවිඩ්-19 නිසා සමාගමේ ව්‍යාපාර වෙත එල්ල වන බලපෑම සහ ඊට මුහුණ දෙන ආකාරයත් යනාදිය සඳහන් කරන ලෙස කොළඹ කොටස් වෙළෙඳ පොළ නිකුත් කළ නිවේදනයට ප්‍රතිචාර දක්වමින් ලයන් බෘවරි (සිලෝන්) පීඑල්සී සමාගම මේ කරුණු අනාවරණය කර තිබේ.

කෙසේ වෙතත් සමාගම තවදුරටත් ශක්තිමත්ව මෙයට මුහුණ දෙන බවත් මැදි කාල සීමාවේදී මෙම කාරණා මඟහරවමින් යළි යථා තත්ත්වයට පත්වීමේ අවස්ථාවන් උදා කරගන්නා බවත් සමාගම කොටස් වෙළෙඳ පොළ වෙත අවධාරණය කර ඇත.

මේ අතර ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරුණු පසුගිය මාර්තු 20 වැනිදා සිට සිය මෙහෙයුම් සියල්ල තාවකාලිකව අත්හිටවූ බවත් සමාගම පවසයි. අනතුරුව ඇතැම් ප්‍රදේශවල ඇඳිරි නීතිය ලිහිල් කෙරුණද, සිය බියර් නිෂ්පාදන කර්මාන්තශාලාව පිහිටි ගම්පහ දිස්ත්‍රික්කය වෙත තවමත් ඇඳරි නීතිය ක්‍රියාත්මක බවද සමාගම පෙන්වා දෙයි.

එසේම මෙම ඇඳරි නීතිය පැනවූ මාර්තු 20 වැනිදා සිට අප්‍රේල් 20 වැනිදා දක්වා රට පුරාම මත්පැන් වර්ග අලෙවිය තාවකාලිකව අත්හිටුවීමටද රජය තීරණය කළ බවත්, පසුව අප්‍රේල් 20 වැනිදා ලිහිල් කළ එම නීතිය ඊට පසු දිනයේදී යළිත් පැනවුණු බවත් සමාගම පවසයි.

මේ අතර, කෝවිඩ්-19 වසංගතය හරහා සිය සමාගම වෙත එල්ල වූ බලපෑමට ප්‍රතිචාර දැක්වීම සඳහා යළිත් වරක් සිය මෙහෙයුම් කටටයුතු සම්පූර්ණයෙන්ම ආරම්භ කර පවත්වාගෙන යාම වෙනුවෙන් රට තුළ සම්පූර්ණයෙන්ම ඇඳිරි නීතිය ඉවත් කිරීමක් සිදු කරන තෙක් බලා සිටින බවත් ලයන් බෘවරි (සිලෝන්) පීඑල්සී සමාගම කොටස් වෙළෙඳ පොළ වෙත දන්වා සිටියි.

Visits: 134