ඩයලොග් වෙතින් රෝහල් දැඩි සත්කාර ඒකක සංවර්ධනයට රු. ලක්ෂ 2000ක්

ඩයලොග් වෙතින් රෝහල් දැඩි සත්කාර ඒකක සංවර්ධනයට රු. ලක්ෂ 2000ක්

ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම, මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තෝරාගත් රෝහල් සඳහා කඩිනමින් අවශ්‍ය දැඩි සත්කාර ඒකක සංවර්ධනය සඳහා රු. ලක්ෂ 2000ක් ලබාදීමට එකඟ වී ඇතැයි පවසයි.

අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා සැපයීමට සහ සියලුම රෝගීන්ට දැඩි සත්කාර ප්‍රතිකාර ලබාගැනීමට අවස්ථා උදාකර දීම සඳහා මෙරට සෞඛ්‍ය පද්ධතිය වැඩි දියුණු කිරීම වෙනුවෙන් මෙම මුදල යෙදවීමට නියමිතව ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියි.

“ වර්තමානයේ වර්ධනය වෙමින් තිබෙන තත්වය හේතුවෙන් මෙරට රෝහල්වල දැඩි සත්කාර ඒකකවල පහසුකම් පුළුල් කිරීමේ අවශ්‍යතාවයක් මතුව තිබෙන අතර,ඩයලොග් ආසිආටා සමාගම විසින් රෝහල්වල දැඩි සත්කාර ඒකක සංවර්ධනය කිරීමට, අති නවීන වෛද්‍ය උපකරණ ලබාගැනීමට සහ රෝහල්ගත වන ආසාදිතයින්ට පමණක් නොව රෝහල් ගතවන සියළුම පුද්ගලයින්ගෙන් අවශ්‍ය වන අය වෙනුවෙන් දැඩි සත්කාර පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා මෙම ප්‍රදානය සිදුකර ඇත.” ඩයලොග් ආසිආටා සමාගම පවසයි.

මෙම සත්කාරය පිළිබඳව අදහස් දක්වන සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය. “මෙම ජාතික සත්කාරය සඳහා අති දැවැන්ත මුදලක් ලබාදීමට එකඟවූ ඩයලොග් ආසිආටා සමාගමට අපි අපගේ ස්තුතිය පුද කරනවා. විශේෂයෙන්ම රටට දැඩි අවශ්‍යතාවයක් ඇතිවූ අවස්ථාවල ඩයලොග් සමාගම අඛණ්ඩව සහයෝගය දක්වන්නෙකු ලෙස දිගු කාලයක් පුරා කටයුතු කර තිබෙන අතර සමාගම සෑමවිටම ජාතික සංවර්ධනයට මහඟු මෙහෙයක් ඉටු කරනවා.” යනුවෙන් පවසා ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, “මෙරට කීර්තිමත් ආයතනයක් වන ඩයලොග් ආසිආටා සමාගම විසින් Covid -19 තත්වය හමුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දෙන මෙම පරිත්‍යාගය සුවිශේෂී වැදගත්කමකින් යුතු වනවා. අප වෙත සිදුකරන ලද මේ ප්‍රදානය,අපගේ දැඩි සත්කාර ඒකක මධ්‍යකාලීන සහ දීර්ඝකාලීන වශයෙන් සංවර්ධනය කිරීමට පිටිවහලක් වනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉදිරි අභිවෘද්ධිය පිළිබඳවද සිතා බලමින් ඩයලොග් ආසිආටා සමාගම සිදුකළ මේ සත්කාරයට සෞඛ්‍ය අමාත්‍යතුමිය,ලේකම්තුමිය, අපගේ කාර්යමණ්ඩලය ඇතුළු අමාත්‍යාංශයේ සියලුම දෙනා වෙනුවෙන් කෘතඥතාවය පළ කර සිටිනවා.” යනුවෙන් පවසා ඇත.

මේ පිළිබඳව ඩයලොග් ආසිආටා පී.එල්.සී. සමාගමේ සමූහ ප්‍රධාන විධායක නිලධාරි,සුපුන් වීරසිංහ මහතා, “මේ වන විට ශ්‍රී ලංකා රජය කොවිඩ් 19 ගෝලීය වසංගතය මෙරටින් තුරන් කිරීම සඳහා විශාල වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා. මේ වැඩපිළිවෙලට සහාය දැක්වීමේ අරමුණින් ඩයලොග් ආසිආටා සමාගම අද දින සෞඛ්‍ය අමාත්‍යංශය සමඟ ලක්ෂ 2000 ක දැවැන්ත ගිවිසුමකට එළඹ තිබෙනවා. ශ්‍රී ලංකාවේ දැඩි සත්කාර ඒකක පද්ධතිය වැඩි දියුණු කිරීමට සහායවීම එහි අපේක්ෂාවයි. මෙවන් අවිනිශ්චිත තත්වයකදී අපට ශක්තියක් වෙමින් නිබඳව රැඳී සිටින අපගේ සියලුම පාරිභෝගිකයන්ට අපේ ස්තුතිය පුදකර සිටීමට මෙය අවස්ථාවක් කරගන්නවා. එමෙන්ම සමස්ත ශ්‍රී ලංකාවම සුරක්ෂිත කිරීම වෙනුවෙන් සුවිශාල කාර්යභාරයක් ඉටු කරමින් සිටින රජයටත්, මේ වෙනුවෙන් දිවා රෑ වෙහෙසෙමින් කටයුතු කරන ත්‍රිවිධ හමුදාවේ සහ ශ්‍රී ලංකා පොලීසියේ සියලු නිලධාරීන්ටත්, සෞඛ්‍ය හා අනෙකුත් සියලු අත්‍යවශ්‍ය සේවා කාර්යමණ්ඩලවලටත්, ගරු අමාත්‍යතුමිය, ලේකම්තුමිය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් තුමා ඇතුළු කාර්යමණ්ඩලයටත් අපගේ ගෞරවනීය ස්තුතිය පුදකර සිටිනවා.” යනුවෙන් පවසා ඇත.

Visits: 29