කොටස් වෙළෙඳ පොළ විවෘත නොවීම ගැන යම් පාර්ශ්ව සතුටින්ලු, යම් පාර්ශ්ව අසතුටින්ලු

කොටස් වෙළෙඳ පොළ විවෘත නොවීම ගැන යම් පාර්ශ්ව සතුටින්ලු, යම් පාර්ශ්ව අසතුටින්ලු

කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු කටයුතු යළි ආරම්භ නොවී මාසයකට ආසන්න කාලයක් අත්හිටුවා තිබීම සම්බන්ධයෙන් පාර්ශ්ව ගණනාවක් සිය අසතුට පළ කර ඇතැයි වාර්තා වෙයි. එසේම තවත් පාර්ශ්ව කිහිපයක් මේ ගනුදෙනු අත්හිටුවීම ගැන සතුටින් සිටින බවත් වාර්තා සඳහන් කරයි.

අද දිනයේ ප්‍රසිද්ධියට වූ සන්ඩේ ටයිම්ස් පුවත්පතේ ‘ව්‍යාපාරික’ කොටසේ ‘Re-open Colombo bourse, urges CSE’ යන සිරස්තලය සහිතව පළ කෙරුණු පුවතේ මේ පිළිබඳ කරුණු සඳහන්ව තිබේ.

පසුගිය මාර්තු 20 වැනිදා සිට මාසයකට අධික කාලයක් පුරා කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු සඳහා මෙලෙස වසා දමා ඇත. කොළඹ දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක ඇඳිරි නීති තත්ත්වය මේ සඳහා හේතුව බව එහි නියාමකයා වන විනිමය හා සුරැකුම්පත් කොමිෂන් සභාවද සඳහන් කර තිබේ.

පසුගිය අප්‍රේල් 22 වැනිදා කොළඹ දිස්ත්‍රික්කයේ ඇඳිරිනීතිය ඉවත් කිරීමට යෝජනා වී තිබුණද, එය එසේ නොවීම නිසා එදින කොටස් වෙළෙඳ පොළ විවෘත කිරිමට ගෙන තිබූ සැලසුම් අත්හිටුවීමටද සිදු විය.

එසේම හෙට දිනයේදී කොළඹ දිස්ත්‍රික්කයේ ඇඳිරි නීතිය ඉවත් කිරිමට සූදානමක් පැවතුණද යළිත් එය මැයි 4 දක්වා කල් දමා ඇති හෙයින් කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු සඳහා විවෘත කිරීම ලබන මාසය දක්වාම කල් යාමේ අවදානමක්ද මතුව තිබේ.

කෙසේ වෙතත් සන්ඩේ ටයිම්ස් පුවත්පත සඳහන් කරන ආකාරයට හැකි ඉක්මණින් සිය ගනුදෙනු ආරම්භ කිරීම සඳහා වෙළෙඳ පොළ විවෘත කරන ලෙස ඉල්ලා කොළඹ කොටස් වෙළෙඳ පොළ පසුගිය අඟහරුවාදා විනිමය හා සුරැකුම්පත් කොමිෂන් සභාව වෙත ලිපියක් මගින් ඉල්ලීමක්ද සිදු කර තිබේ. එහිදී යම් සීමා කිරීම් සහිතව ගනුදෙනු සඳහා පහසුකම් සැලසිය හැකි බවක් කොළඹ කොටස් වෙළෙඳ පොළ කොමිෂන් සභාව වෙත දන්වා ඇත.

පුවත්පතේ සඳහන් ආකාරයට කොළඹ කොටස් වෙළෙඳ පොළ නිලධාරීන් මෙවැනි ඉල්ලීමක් සඳහා යොමුවීමට ප්‍රධානම හේතුව වී ඇත්තේ ඔවුන්ද සාමාජිකත්වය දරන WFE (World Federation of Exchange) මගින් පසුගියදා ඒ වෙත එවන ලද ලිපියකි. එහිදී ඔවුන් කොළඹ කොටස් වෙළෙඳ පොළ මෙසේ වසා තැබීම පිළිගත නොහැකි අවස්ථාවක් බවට අවධාරණය කර තිබේ.

මේ අතර, ආසන්න වසර දෙක තුළදී කොළඹ කොටස් වෙළෙඳ පොළ තුළ සිදු වුණු සමස්ත ගනුදෙනු පරිමාව අතරින් 35%ත් 45%ත් අතර ප්‍රමාණයක් විදේශීය ආයෝජකයන් විසින් සිදු කරන ලද ගනුදෙනු බවත්, කොටස් වෙළෙඳ පොළ මෙලෙස වසා දැමීම හරහා මෙරට අනාගත විදෙස් ආයෝජන සම්බන්ධයෙන් යම් අවදානමක් පවතින බව ඇතැම් කොටස් තැරැව්කරුවන් සඳහන් කර ඇතැයිද පුවත්පත පවසයි.

ඒ හරහා වෙළෙඳ පොළ ගනුදෙනු තවදුරටත් වියළීමකට ලක්ව ඇතැම් විදේශීය අරමුදල් තුළ කොළඹ කොටස් වෙළෙඳ පොළ අසාදුලේඛනගතවීමේ අවදානමක් ඇතැයිද මෙම තැරැව්කරුවන් පෙන්වා දී තිබේ. එසේම බොහෝ තැරැව්කාර සමාගම් සහ ආයෝජකයන් මෙලෙස කොටස් වෙළෙඳපොළ වසා තබා ඇත්තේ ඇයිද යනුවෙන් දැනටමත් ප්‍රශ්න කරමින් සිටින බවත් පුවත්පත මෙහිදී වාර්තා කර සිටියි.

“විදේශිකයන් මේ කටයුතු සිදු වෙන ආකාරය ගැන අසතුටින් ඉන්නේ. මොකද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහත වැටීම නිසා ඔවුන්ගේ ආයෝජනවල වටිනාකම් දැනටමත් 5%ත් 10% ත් අතර ප්‍රමාණයකින් අහිමිවෙලා. මෙය ඉතාමත් අයහපත් තත්ත්වයක් ” පුවත්පතේ සඳහන් වෙයි.

මේ අතර, මෙරට සිටින ඇතැම් ප්‍රධාන පෙළේ තැරැව්කාර සමාගම් සහ කොළඹ කොටස් වෙළෙඳ පොළ ලැයිස්තුගතව සිටින ප්‍රධාන පෙළේ සමාගම් කිහිපයක්ම කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු මෙලෙස අත්හිටුවා තිබීම සම්බන්ධයෙන් සතුටට පත්ව ඇතැයිද මෙම ක්ෂේත්‍රයට සම්බන්ධ පිරිස් සඳහන් කරන බව සන්ඩේ ටයිම්ස් වාර්තාවේ පවසා ඇත.

යම් හෙයකින් වෙළෙඳ පොළ ගනුදෙනු යළි විවෘත කළ හොත් පවතින ආර්ථික අර්බුදකාරී තත්ත්වය හමුවේ ඔවුන්ගේ කොටස් මිල සීඝ්‍ර ලෙස කඩා වැටීමට ඉඩ තිබීම ඊට හේතුව බවද මෙම පිරිස් සඳහන් කර සිටියි.

මෙලෙස ගනුදෙනු යළි ආරම්භ කිරීම සඳහා පවතින මූලිකම බාධාව ලෙස මෙම ප්‍රධාන සමාගම් රටෙහි පවතින ඇඳිරි නීතිමය තත්ත්වය හා චෙක්පත් තැන්පත් කිරීම සඳහා බැංකු විවෘත කර නොතිබීම යන කාරණා පිළිබඳව සඳහන් කරමින් සිටින බවද ඔවුන් පෙන්වා දෙයි.

එහෙත් වෙළෙඳ පොළ තුළ සිය කොටස් අලෙවි කිරීමට හෝ මිලදී ගැනීමට කැමැති පිරිස් වේ නම් ඔවුන් සඳහා අවශ්‍ය ඇඳිරිනීති බලපත්‍ර ඇතුළු අනෙකුත් පහසුකම් රජයට ලබාදිය හැකි බවත්, ඊට හොඳ ම උදාහරණය ඇඳිරි නීතිමය තත්ත්වය හමුවේ වුවද ඉන්දියාවේ මහාරාශ්ට්‍ර ප්‍රාන්ත රජය සිය වෙළෙඳ පොළ විවෘතව තබා ගෙන යාමට ගෙන ඇති පියවර බවත් මෙම පිරිස් අවධාරණය කරන බවත් පුවත්පත වැඩිදුරටත් සඳහන් කරයි.


Visits: 447