ෂෙරටන් කලම්බෝ විවෘත කිරීමත් කල්යයි

ෂෙරටන් කලම්බෝ විවෘත කිරීමත් කල්යයි

ලංකා හොටෙල්ස් ඇන්ඩ් රෙසිඩන්සීස් (පෞද්) සමාගම මගින් කොළඹ ගාලු පාරේ ඉදි කළ කාමර 320 කින් සමන්වි ත ෂෙරටන් කලම්බෝ (Sheraton Colombo) හෝටලය විවෘත කිරීම කල් දැමීමට එහි හිමිකරුවන් තීරණය කර ඇතැයි වාර්තා වෙයි. ලබන ජූනි මාසයේදී හෝටලය නිල වශයෙන් විවෘත කිරීමට නියමිතව තිබුණි.

එම සමාගමේ සභාපති ගාමිණී ගුණරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් මෙම තීරණය දැනුම් දී තිබේ. නව කොරෝනා වසංගතය හෙතුවෙන් මෙරට වෙත මෙන්ම ගෝලීයවද එල්ලවී ඇති අර්බුදකාරී බලපෑම් සහගත තත්ත්වය හමුවේ මෙම තීරණය ගත් බව සභාපතිවරයා සඳහන් කර තිබේ. එහිදී මෙම අර්බුදය එක් කර්මාන්තයකට හෝ එක් රටකට වඩා විශාල බවත් ඔහු ප වසා ඇත.

“රට තුළ මෙන්ම ගෝලීයවත් මෙම වසංගතය පාලනය කිරීම සඳහා සිදු කරන පූර්වආරක්ෂක වැඩපිළිවෙල සඳහා සහායදීමක් ලෙස අපගේ ෂෙරටන් කලම්බෝ හෝටලය විවෘත කිරීමේ සැලසුම් තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. අප නිරන්තරයෙන්ම පවතින තත්ත්වය සම්බන්ධයෙන් නිරීක්ෂණය කරමින් සිටින අතර, අප හා සම්බන්ධ සියලුම දෙනාගේ සෞඛ්‍ය සහ ආරක්ෂාව සඳහා ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.” සභාපතිවරයා පවසා ඇත.

එසේම මෙම වසංගතය නිමා කිරීමෙන් අනතුරුව රජය මෙරට හෝටල් ඇතුලු ආගන්තුක සත්කාර කර්මාන්තය සඳහා අවසරය ලබාදීමත් සමගම සිය මෙහෙයුම් පවත්වාගෙන යාමට සූදානමින් සිටින බවත් ලංකා හොටෙල්ස් ඇන්ඩ් රෙසිඩන්සීස් (පෞද්) සමාගම සඳහන් කරයි.

සුප්‍රසිද්ධ මැරියට් ඉන්ටර්නැෂනල් ඉන්කෝපරේෂන් සමාගම යටතේ ක්‍රියාත්මක Marriot Bonvoy සමාගමේ හෝටලයක් ලෙස මෙම ෂෙරටන් කලම්බෝ හෝටලය ඉදිකර තිබේ. ලංකා හොටෙල්ස් ඇන්ඩ් රෙසිඩන්සීස් පෞද්ගලික සමාගම මැරියට් ඉන්ටර්නැෂනල් සමාගම යටතේ පවතින ස්ටාර්වුඩ් හොටෙල්ස් ඇන්ඩ් රිසෝර්ට්ස් වර්ල්ඩ්වයිඩ් සමගින් 2012 වසරේ ඇති කරගත් එකඟතාවකට අනුව ජාත්‍යන්තර ෂෙරටන් හෝටල් සන්නාමය මෙරටට රැගෙන ඒම සිදුවිය.

ඊළාම් යුද්ධයෙන් අනතුරුව ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුම් ආරම්භ කිරීමට ඉදිරිපත් වූ පළමු ජාත්‍යන්තර හෝටල් සන්නාමය බවටද මෙම ෂෙරටන් හෝටල් සමූහය පත්විය. මෙහිදී ෂෙරටන් කලම්බෝ හෝටලය සඳහා වන ආයෝජනය එක්සත් ජනපද ඩොලර් මිලියන 80ක් වූ බව මාධ්‍ය වාර්තා පවසයි.

මහල් 21කින් සමන්විතව 2004 වසරේදී ඉදිකිරීම් ආරම්භ වී 2010 වසරේදී ඉදිකිරීම් නවතා දැමුණු ‘ද ප්‍රීමියර් පැසිෆික්’ හෝටලය මෙලෙස ‘ෂෙරටන් හොටෙල් කලම්බු’ බවට පත්විය. ඒ වනවිට එහි මහල් 12ක් ඉදිකරමින් පැවැති අතර 2012 වසරේ ඇති කරගත් එකඟතාව අනුව ලංකා හොටෙල්ස් ඇන්ඩ් රෙසිඩන්සීස් (පෞද්) සමාගම ඉතිරි ඉදිකිරීම් සිදු කර මේ වසරේදී එය මෙලෙස විවෘත කිරිමට නියමිතව තිබුණි.

Visits: 100