වෙළෙඳ පොළ විවෘත කරන ලෙස CSE යැවූ ලිපිවලට SEC වෙතින් පිළිතුරු

වෙළෙඳ පොළ විවෘත කරන ලෙස CSE යැවූ ලිපිවලට SEC වෙතින් පිළිතුරු

ඇඳිරි නීතිය අවස්ථාවේදීත් කොළඹ කොටස් වෙළෙඳ පොළ කටයුතු පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය අනුමැතිය ලබා දෙන ලෙස කොළඹ කොටස් වෙළෙඳ පොළ බලධාරීන් එහි නියාමකයා වන විනිමය හා සුරැකුම්පත් කොමිෂන් සභාව වෙත යැවූ ලිපි වෙත පිළිතුරු ලිපි යවා ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව මෙවැනි ඇඳිරි නීතිමය තත්ත්වයක් තුළ කොළඹ කොටස් වෙළෙඳ පොළ කටයුතු යළි ආරම්භ කිරීම හරහා එහි මෙහෙයුම් සියල්ල නිසි ලෙස පවත්වාගෙන යෑමට බලාපොරොත්තු වන ආකාරය පිළිබඳව පැහැදිලි කරන ලෙස කොමිෂන් සභාව මෙහිදී කොටස් වෙළෙඳ පොළ වෙත දන්වා තිබේ.

“කොටස් වෙළෙඳපොළ මෙහෙයුම් අවශ්‍යතාවන් සියල්ලම පැහැදිලිවම අවබෝධ කරගෙන එම කටයුතු නිසි ලෙස පවත්වාගෙන යාම සඳහා ගැටලු නිරාකරණය කරගත හැකි ආකාරය සම්බන්ධයෙන් සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දන්වන්න සුරැකුම්පත් කොමිෂම ඒකමතිකව තීරණය කර තිබෙනවා. එතැනදී සියලුම කොටස්හිමිකරුවන්ගේ අවශ්‍යතා අනුව මේ කටයුතු සිදුකිරීම වැදගත්. ඒ වගේම කොළඹ කොටස් වෙළෙඳපොළෙහි අධ්‍යක්ෂ මණ්ඩල හමුවකදී මේ තීරණ පිළිබඳව වන අවශ්‍යතාව සාකච්ඡා කිරීම වැදගත්.” මෙම ලිපියේ සඳහන් වෙයි.

විවිධ බලපෑම මත කොළඹ කොටස් වෙළෙඳ පොළ පාලනාධිකාරිය විසින් පසුගිය සතියේ අවස්ථා කිහිපයකදීම සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව වෙත වෙළෙඳ පොළ කටයුතු යළි විවෘත කිරීම පිළිබඳව ඉල්ලීම් කරමින් අවස්ථා ගණනාවකදීම ලිපි යවා ඇතැයි මාධ්‍ය වාර්තා හරහා දැනගන්නට ලැබෙයි.

එහෙත් කෝවිඩ්-19 වසංගත ව්‍යාප්තිය පාලනය සඳහා කොළඹ දිස්ත්‍රික්කය තුළ පනවා ඇති ඇඳිරි නීතිමය තත්ත්වය හේතුවෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ මෙහෙයුම් නිසා ලෙස පවත්වාගෙන යාමේ අපහසුව නිසා මෙලෙස පසුගිය මාර්තු 20 වැනිදා සිට එහි ගනුදෙනු අත්හිටුවීමට සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව තීරණය කර තිබේ.

පසුගිය අප්‍රේල් 22 වැනිදා එම ඇඳිරි නීති තත්ත්වය ඉවත් කිරීමට නියමිත වූ අවස්ථාවේදී කොළඹ කොටස් වෙළෙඳපොළ කටයුතු යළි ආරම්භට නියමිතව තිබුණත්, ඇඳිරිනීතිය යළිත් වරක් අප්‍රේල් 27 වැනිදා දක්වා දිග් කෙරිණි.

ඒ අනුව අද දිනයේදී කොළඹ කොටස් වෙළෙඳ පොළ යළි ගනුදෙනු සඳහා විවෘත වීමේ අවස්ථාවක් පැවතියද පෙරේදා දිනයේදී ගත් තීරණයකට අනුව කොළඹ දිස්ත්‍රික්කයේ ඇඳිරි නීතිය ලබන මැයි 04 වැනිදා අලුයම දක්වා දිගු වී ඇත. ඒ අනුව සුරැකුම්පත් හා විනිමය කොමිෂමේ නිර්දේශ අනුව තවත් සතියක කාලයකට කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු අත්හිටුවීමකට ලක්වීමට නියමිතව ඇත.

සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ මෙම පිළිතුරු ලිපිය සම්බන්ධයෙන් පසුගිය ඉරිදා දිනයේ  පළ වූ ‘සන්ඩේ මෝර්නිං පුවත්පත’ කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සභාපති රේ අබේවර්ධන මහතාගෙන් කරුණු විමසා ඇති අතර, එහිදී ඔහු සඳහන් කර ඇත්තේ ඇඳිරි නීතිය අවස්ථාවේදීත් කොළඹ කොටස් වෙළෙඳ පොළ කටයුතු සිදුවන ආකාරය පිළිබඳ විස්තරාත්මක සැලැස්මක් මේ වනවිටත් සකස් කරමින් සිටින බවකි. ඒ අනුව සති අන්තය වන විට එය කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කළ හැකි වෙනු ඇති බවත්ය.

“මෙතැනදී උදාහරණයක් විදියට ආයෝජකයෙකුට ඇඳරි නීතිය නිසා චෙක්පත් හරහා යම් ගෙවීමක් සිදු කිරීම අපහසු නම්, කොළඹ කොටස් වෙළෙඳ පොළ සේවකයෙකු එම ආයෝජකයාගේ නිවෙසටම ගොස් අදාළ චෙක්පත ලබා ගැනීමේ පහසුකම් ලබාදීමට සූදානමින් සිටිනවා. එසේත් නැත්නම් මේ ආයෝජකයන්ට අන්තර්ජාල බැංකු හරහා මෙම ගෙවීම් සිදු කළ හැකියි. එතැනදී අපි සියලුම අංශ ආවරණය වන ලෙස මෙය සිදු කිරීමට බලාපොරොතිතු වෙනවා.” අබේවර්ධන මහතා පවසා ඇත.

මෙලෙස සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව වෙත කොළඹ කොටස් වෙළෙඳපොළ මගින් යවන ලිපියට සාර්ථක පිළිතුරු ලැබුණහොත්, සියලුම තැරැව්කාර සමාගම් වෙත ඔවුන්ගේ සේවකයන් වෙත අවශ්‍ය ඇඳිරි නීතිය බලපත්‍ර ලබා ගන්නා ලෙස නිවේදනයක් නිකුත් කිරීමේ වැඩි හැකියාවක්ද පවතින බව වෙළෙඳ පොළ ආරංචි මාර්ග පවසයි.

Visits: 157