COVID-19 නිසා සිදුවූ බලපෑම් හෙළිකරන්නැයි CSE සිය ලැයිස්තුගත සමාගම් වෙත කියයි

COVID-19 නිසා සිදුවූ බලපෑම් හෙළිකරන්නැයි CSE සිය ලැයිස්තුගත සමාගම් වෙත කියයි

ගෝලීයව මෙන්ම මෙරට තුළදීත් ව්‍යාප්ත වී තිබෙන COVID-19 වසංගතය හේතුවෙන් තම ව්‍යාපාර කටයුතු වලට සිදුව ඇති බලපෑම් පිළිබඳව හෙළිදරව් කරන ලෙස කොළඹ කොටස් හුවමාරුව සිය ලැයිස්තුගත සමාගම් සියල්ලටම දන්වා සිටියි.

දැනටමත් අදාළ සමාගම් මෙම බලපෑම සිය ව්‍යාපාර මෙහෙයුම් පවත්වාගෙන යාම සඳහා වන කැපී පෙනෙන අවදානමක් බවද සඳහන් කර ඇති අතර, ඒ හරහා එම සමාගම් වෙත අනාගතයේදී එල්ල වන බලපෑමද අවිනිශ්චිත වී ඇතැයිද කොළඹ කොටස් වෙළෙඳ පොළ පවසයි.

“මේ කෝවිඩ්-19 වසංගතය නිසා කර්මාන්ත වෙත හෝ සමාගම් වෙත එල්ල වන පුළුල් බලපෑම් පිළිබඳව නියමාකාර තක්සේරුවක් හෝ පුරෝකතනයක් සිදු කිරීම අසීරු බව කොළඹ කොටස් වෙළෙඳ පොළ ලෙස අපි අවබෝධයෙන් සිටිනවා. එසේම මෙම වසංගතයේ සැබෑ බලපෑම ප්‍රධාන වශයෙන්ම එම සමාගම්වල පාලනයෙන් සහ දැනීමෙන් ඔබ්බෙහි පවතින කාරණා මත රඳා පවතින බවත් කොළඹ කොටස් වෙළෙඳ පොළ ලෙස අප හදුනාගෙන තිබෙනවා.”

මෙහිදී අදාළ ලැයිස්තුගත සමාගම් තමන් වෙත නියම කාලයේදී, වඩාත් හොඳ මෙන්ම වඩාත් නිවැරදි තොරතුරු තමන් වෙත ලබා දෙනු ඇතැයිද කොළඹ කොටස් වෙළෙඳ පොල බලාපොරොත්තු තබා සිටියි. විශේෂයෙන්ම ජනතාවට ආයෝජනය සඳහා වඩාත් සාධාරණ සහ ක්‍රමවත් වෙළෙඳ පොළක් පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය වීම ඊට හේතුව බව ඔවුන් පවසයි.

එසේම මෙම COVID-19 වසංගත තත්ත්වයෙන් එල්ල වූ බලපෑම් වෙත ලැයිස්තුගත සමාගම් කෙසේ ප්‍රතිචාර දක්වන්නේ යන්න පිළිබඳවත් දැන්විය යුතු බවත්, එය ආයෝජකයන්ට සිය ආයෝජන තීරණ ගැනීමේදී වැදගත් වෙනු ඇති බවත් කොළඹ කොටස් වෙළෙඳ පොළ දන්වා සිටියි.

“මෙතැනදී ‍ COVID-19 නිසා ලැයිස්තුගත සමාගම්වල ව්‍යපාර වෙත/මෙහෙයුම් වෙත එලල් වී ඇති බලපෑම සම්බන්ධයෙන් කොටස්හිමිකරුවන් සහ ආයෝජකයන් දැඩි අවධානයෙන් සිටීම සම්බන්ධයෙන් අප අගය කරනවා. එසේම සමාගම්ද වඩාත් සාධාරණ සහ නිවැරදි තොරතුරු ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.”

මේ අතර, තවමත් මෙම වසංගත තත්ත්වය ලොව තුළ රට තුළ පවතින නිසා අනාගත දැක්මක් පිළිබඳව පුරෝකතනය කිරීම අසීරුවී ඇතැයිද කොළඹ කොටස් වෙළෙඳ පොළ පවසයි. ඒ අනුව ලැයිස්තුගත සමාගම් විසින් අනාගතයේ ඇති වන තත්ත්වයන් පිළිබඳවද ආයෝජකයන් වෙත නිවැරදි කාලයේදී තොරතුරු අනාවරණය කිරීමක් සිදු කරනු ඇතැයිද බලාපොරොත්තු වන බව ඔවුන් සඳහන් කරයි.

ඒ අනුව මෙහිදී අවධානය යොමු කළ යුතු ප්‍රධාන කරුණු තුනක් පිළිබඳ වන තොරතුරු වෙළෙඳ පොළ වෙත අනාවරණය කරන ලෙසද කොළඹ කොටස් වෙළෙඳ පොළ සිය ලැයිස්තුගත සමාගම් වෙතින් ඉල්ලයි.

ඒ අනුව 1.කෝවිඩ්-19 නිසා ලැයිස්ගුත සමාගම්හි ව්‍යාපාර/මෙහෙයුම් වෙත එල්ල වූ බලපෑම, 2. මෙම වසංගතය සඳහා ලැයිස්ගුත සමාගම් දැක්වූ ප්‍රතිචාර කවරේද යන්න සහ 3. අනාගතයේදී එල්ල වන කෝවිඩ්-19 වසංගත තත්ත්වයක් පිළිබඳ බලාපොරොත්තු සහ එවැන්නකදී සමාගම්හි ඉදිරි මෙහෙයුම් සිදු කිරීම සහ මූල්‍ය තත්ත්වය පිළිබඳව කරුණු අනාවරණය කරන ලෙස කොළඹ කොටස් වෙළෙඳ පොළ ඉල්ලා සිටියි.

Visits: 335