VEGA කාරය තැනූ Vega Innovation සමාගමෙන් විෂබීජහරණ කුටියක්

VEGA කාරය තැනූ Vega Innovation සමාගමෙන් විෂබීජහරණ කුටියක්

මෙරට පළමු විදුලි කාරය ලෙස VEGA රථය එළිදැක්වූ කළ VEGA Innovation සමාගම යටතේ ක්‍රියාත්මක VEGA Design Studios ආයතනය මගින් සාර්ථක විෂබීජහරණ කුටියක් නිර්මාණය කර ඇතැයි පවසයි.

ඔවුන් සඳහන් කරන ආකාරයට මේ දක්වා මෙරට නිපදවූ විෂබීජහරණ කුටි අතරින් විෂබීජහරණ කාර්යක්ෂමතාව පරීක්ෂාවට ලක් කෙරුණු එකම කුටිය ලෙසද මෙය සැලකෙයි. ශ්‍රී ලංකා නැනෝතාක්ෂණික ආයතනය Sri Lanka Institute of Nanotechnology (SLINTEC) හරහා මෙම පරීක්ෂා කිරීම සිදු කර තිබේ.

මෙම විෂබීජහරණ කුටිය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජාත්‍යන්තරව පිළිගන්නා ජල විෂබීජනාශක තාක්ෂණය (water disinfection treatment technology) යොදා ගනිමින් නිර්මාණය කර තිබේ. ඒ සඳහා අවශ්‍ය වන්නේ විදුලිය සහ ජලය පමණක් බවත් එහි නිර්මාණකරුවන් වන වෙගා ඩිසයින් ස්ටුඩියෝ සමාගම පවසයි.

එහිදී වෙනත් කිසිදු රසායනික ද්‍රව්‍යයක් භාවිත නොකර ඇති බවත්, ඇල්කොහොල් පාදක විෂබීජහරණ ද්‍රව්‍යවලින් තොරව වාතය සහ ඉලෙක්ට්‍රොනික උපාංග පමණක් යොදා ගැනීම නිසා මෙය කිසිදු ගිනි ගැනීමකට ලක් නොවන බවත් සමාගම පවසයි. සිය නිෂ්පාදනය සඳහා මාස  හයක වගකීමක්ද ලබා දීමට සමාගම කටයුතු යොදා ඇත.

Visits: 77