ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් බැරලයක් ඩොලර් 15ටත් වඩා අඩුවෙයි

ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් බැරලයක් ඩොලර් 15ටත් වඩා අඩුවෙයි

ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල අද පෙරවරුව වන විට ඩොලර් 15කටත් වඩා අඩු අගයක් දක්වා පහත වැටී තිබුණි. ඒ අනුව එක්සත් ජනපද වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියේට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 14.93ක අගයක් එගන තිබූ අතර, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 27.24ක අගයක් ගෙන තිබුණි.

ඒ අනුව මෙය වසර 21කට පසුව ලෝක වෙළෙඳ පොළේ වාර්තා වූ අඩුම බොරතෙල් මිල ගණන් බව විදෙස් මාධ්‍ය පවසයි. කෝවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් තවදුරටත් ගෝලීය ආර්ථිකයන් සහ වෙළෙඳ පොළ රැසක්ම වසා දමා තිබීම නිසා පවතින අඩු බොර තෙල් ඉල්ලුම මෙලෙස එහි මිල අඩුවීමට හේතු වී තිබේ.

පසුගිය සතියේ බ්‍රහස්පතින්දා දිනයේදී ඩොලර් 25.53ක්ව පැවැති වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියේට් බෙරතෙල් බැරලයක මිල සිකුරාදා වනවිට ඩොලර් 19.69ක් බවට පත්ව තිබුණි. එසේම පසුගිය බ්‍රහස්පතින්දා වන විට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 28..61ක් බවට පත්ව තිබුණි.

ඔපෙක් සාමාජික රටවල් පසුගියදා ගත් තීරණයකට අනුව දෛනික බොරතෙල් නිෂ්පාදනය බැරල් මිලියන 9.7කින් කප්පාදු කිරීමට සූදානම්වී තිබූ පසුබිමක මෙලෙස තවදුරටත් ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල පහත වැටීම විශේෂත්වයක් ගෙන තිබේ. ඒ අනුව මෙම කප්පාදුව ප්‍රමාණවත් නොමැති බව මින් හැඟවෙන බවත් පැවසෙයි.  

Visits: 58