ක්‍රිකට් විකාශන හිමිකම සඳහා ලංසු තැබීමට සෝනි පික්චර්ස් යළි එයි

ක්‍රිකට් විකාශන හිමිකම සඳහා ලංසු තැබීමට සෝනි පික්චර්ස් යළි එයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙරටදී සහ විදේශයන්හිදී තරග වදින ක්‍රිකට් තරගවල රූපවාහිනි, ගුවන් විදුලි සහ ඩිජිටල් විකාශන අයිතිය සම්බන්ධයෙන් වන ටෙන්ඩරයට ලියාපදිංචිය සඳහා වන ආපසු නොගෙවන මුදල් තැන්පතුවේ කාල සීමාව ලබන අප්‍රේල් 30 දක්වා දීර්ඝ කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

මේ සඳහා වන අවසන් දිනය පසුය අප්‍රේල් 15 වැනිදා ලෙස නියම වී තිබුණද, කෝවිඩ් 19 වසංගතට හේතුවෙන් රට තුළ උද්ගතවුණු තත්ත්වය සලකා බලා මෙය අප්‍රේල් 30 දක්වා දීර්ඝ කර තිබේ. මෙහිදී 2020 අප්‍රේල් 01 වැනිදා සිට ඉදිරි වසර තුනක කාලය සඳහා වන විකාශන හිමිකම් සඳහා මිල ගණන් කැඳවීමක් සිදුවීමට නියමිතව ඇත.

එහෙත් මෙවරදී රූපවාහිනි සහ ගුවන් විදුලි විකාශන හිමිකම, රූපවාහිනි නිෂ්පාදන හිමිකම සහ ඩිජිටල් විකාශන  හිමිකම යනාදී ලෙස එකිනෙකට වෙනස් හිමිකම් අවස්ථා තුනක් ප්‍රදානය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා තිබීමත් විශේෂත්වයකි.

මෙම ලංසු කැඳවීමේ පළමුවටයෙන් ඉවත් වූ සෝනි පික්චර්ස් නෙට්වර්ක්ස් ඉන්දියා පෞද්ගලික සමාගමද මෙම අවස්ථාවේදී ඒ සඳහා ඉදිරිපත්වීමට කැමැත්ත පළකර තිබේ. පළමු අවස්ථාවේදී මෙම ටෙන්ඩර් පටිපාටියේ පවතින විනිවිදභාවයෙන් තොර අවස්ථා පිළිබඳව සඳහන් කරමින් එම සමාගම ඉන් ඉවත් විය.

2013 වසරේ සිට ගෙවුණු වසර හතක කාලය පුරාම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විකාශන හවුල්කරුවා ලෙස කටයුතු කළේද එම සමාගම යටතේ පැවති ටෙන් ස්පෝර්ට්ස් නාලිකාවයි.

මෙම පළමු වටයේ ටෙන්ඩර් කැඳවීමේ අවස්ථාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බලාපොරොත්තු වූ තරම් මුදලක් ඒ සඳහා ඉදිරිපත් නොවීම මෙලෙස යළිත්වරක් ටෙන්ඩර් කැඳවීමට හේතුවක් විය. එම අවස්ථාවේදී වසර තුනක රූපවාහිනි, ගුවන් විදුලි විකාශන හිමිකම සඳහා ඉදිරිපත් වූ ඉහළම ලංසුව එක්සත් ජනපද ඩොලර් මිලියන 16ක් වූ අතර, ඩිජිටල් විකාශන අයිතිය සඳහා වන හිමිකමට හිමිවූ වටිනාකම ඩොලර් මිලියන 6ක් විය.

ජාත්‍යන්තර ක්‍රිකට් තරග විකාශනය සම්බන්ධයෙන් කලාපයේ පිහිටි ප්‍රධාන සමාගම් ලෙස සැලකෙන සෝනි පික්චර්ස් ටෙන්වර්ක් ඉන්දියා පෞද්ගලික සමාගම හෝ ස්ටාර් ඉන්දියා සමාගම හෝ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තරග විකාශන හිමිකම් සඳහා උනන්දු නොවීම එවැනි වටිනාකමක් හිමිවීමට මූලික හේතුවවී තිබුණි. ඒ වෙනුවට ජාත්‍යන්තර ක්‍රිකට් තරග විකාශයේ අඩු අත්දැකීම් සහිත, නීතිමය ගැටලු පවතින ලෙක්ස් ස්පෝර්ටෙල් විෂන් පෞද්ගලික සමාගම සහ ලෙක්ස් ස්පෝර්ට් විෂන් සමාගම මෙහිදී ලංසු ඉදිරිපත් කර තිබුණි.

Visits: 81