අන්තර්ජාල භාණ්ඩ අලෙවිය පිළිබඳ පැමිණිලි ඉහළට, රෙගුලාසි ඉදිරි සතිවලදී

අන්තර්ජාල භාණ්ඩ අලෙවිය පිළිබඳ පැමිණිලි ඉහළට, රෙගුලාසි ඉදිරි සතිවලදී

අන්තර්ජාලය හරහා භාණ්ඩ ඇනවුම් කර මිලදී ගැනීමේදී තමන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් පාරිභෝගිකයන් එල්ල කරන පැමිණිලිවල ඉහළ යාමක් පෙන්නුම් කරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

කෝවිඩ් 19 වසංගත තත්ත්වය ව්‍යාප්තවීමත් සමගම පවත්වාග/ත යුතුව තිබූ සමාජ දුරස්තකරණය හේතුවෙන් රජයේ උනන්දු කරවීම මත ජනතාව මෙලෙස අන්තර්ජාලය හරහා භාණ්ඩ මිලදී ගැනීම් වෙත වැඩි වශයෙන් යොමුවිය.

ඒ අනුව පසුගිය මාර්තු 18 වැනිදා සිට අප්‍රේල් 16 වැනිදා දක්වා කාලසීමාව තුළදී බස්නාහිර පළාත තුළ පමණක් පැමිණිලි 275ක් ඉදිරිපත්ව ඇත. ඒ අතරින් කොළඹ දිස්ත්‍රික්කය තුළ මෙම අන්තර්ජාලය හරහා භාණ්ඩ අලෙවිය ප්‍රභල ගැටලුවක් බවට පත්ව ඇතැයි පැවසෙයි. 

එසේම කළුතර දිස්ත්‍රික්කයෙන්ද දිනකට පැමිණිලි 50ත් 60ත් අතර සංඛ්‍යාවක් පැමිණෙයි. මීට අමතරව රත්නපුර දිස්ත්‍රික්කය තුළදී දිනකට පැමිණිලි 25ත් 30ත් අතර සංඛ්‍යාවක් පැමිණෙන බවත්, මහනුවර දිස්ත්‍රික්කය තුළදී අප්‍රේල් 17 වැනිදා වනවිට පැමිණිලි 200ක් ලැබී තිබූ බවත් පාරිභෝගික කටයුතු අධිකාරියේ දිස්ත්‍රික් නිලධාරීන් සඳහන් කරයි.

මෙලෙස අන්තර්ජාලය හරහා භාණ්ඩ ඇනවුම් කර මිලදී ගැනීමේදී පාරිභෝගිකයන් මුහුණ  පාන ප්‍රධාන ගැටලු කිහිපයක්ම හඳුනාගෙන ඇත. ඒ අනුව භාණ්ඩවල නියමිත ප්‍රමාණයට වඩා වැඩි මුදලක් අය කිරීම, භාණ්ඩ ගෙනැවිත් භාර දීම සඳහා සම්මත මුදලක් අය නොකිරීම, ඇනවුම ඉදිරිපත් කර දින ගණනාවකට පසුව භාණ්ඩ භාර දී සහ ඇතැම් අවස්ථාවලදී භාණ්ඩවල ගුණාත්මකභාවය පිළිබඳ ගැටලුද ඒවා අතර වෙයි.

අන්තර්ජාලය හරහා භාණ්ඩ මිලදී ගැනීම සඳහා අලෙවි කිරීම පිළිබඳව මෙරට තුළ පවතින නීති රීති ප්‍රමාණවත් නොවීම මෙවැනි ගැටලු ඇති වීම සඳහා ප්‍රධාන හේතුවක් බව පාරිභෝගික කටයුතු අධිකාරියේ අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා පවසයි. විශේෂයෙන්ම මෙම කෝරෝනා වෛරසය හේතුවක් කරගනිමින් රට වසා දැමීමක් සිදුවන තෙක්ම බහුතර මහජනතාව අතර මෙම අන්තර්ජාලය හරහා සිදු කෙරෙන භාණ්ඩ ගනුදෙනුව එතරම් ජනප්‍රියව නොතිබූ බවත් ඔහු සඳහන් කරයි.

ඒ අනුව ඉදිරියේදී මෙම අන්තර්ජාල භාණ්ඩ වෙළෙඳාම සිදුකරන ව්‍යාපාර මෙහෙයුම්කරුවන්ට අදාළ වන රෙගුලාසි මාලාවක් නිකුත් කිරීමට කටයුතු යොදන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසා සිටියි.

මේ අතර අන්තර්ජාලය හරහා ඇනවුම් භාරගෙන භාණ්ඩ අලෙවි කිරීමේ නිරත සියලුම පරිමාණයේ ව්‍යාපාර සම්බන්ධයෙන් මේ වනවිට විමර්ෂණ සිදු කරමින් පවතින බවත්, ඒ සඳහා සිය නිලධාරීන් යොදවා ඇති බවත් අධිකාරිය පවසයි. ඒ අනුව පසුගිය සතිය තුළදී පමණක් මෙලෙස අන්තර්ජාලය හරහා ඇනවුම් ලබා ගෙන කල් ඉකුත් වූ භාණ්ඩ පාරිභෝගිකයන් වෙත භාරදීම සිදු කළ ආයතන කිහිපයක්ම වැටලීමටද එම අධිකාරිය සමත්ව තිබුණි.

Visits: 35