Fitch ආයතනය සිංගර් (ශ්‍රී ලංකා) සමාගමත් පහත හෙළයි

Fitch ආයතනය සිංගර් (ශ්‍රී ලංකා) සමාගමත් පහත හෙළයි

මෙරට මුල් පෙළේ ගෘහවිදුලි උපකරණ ඇතුළු ගෘහස්ත උපකරණ අලෙවි සමාගමක් වන සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී සමාගම A-(lka) ශ්‍රේණියේ සිට BBB+(lka) තත්ත්වය දක්වා පහත හෙළීමට කටයුතු කළ බව ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන Fitch Ratings ආයතනය පවසයි.

නව කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් එම ව්‍යාපාරය වෙත එල්ල වන කැපී පෙනෙන බාධාව හේතුවෙන් මෙලෙස සිංගර් ශ්‍රී ලංකා පීඑල්සී සමාගම ශ්‍රේණිගත කිරීම්හි පහත හෙළීමට හේතු වූ බව Fitch Ratings ආයතනය සඳහන් කරයි. එසේම පාරිභෝගිකයන් ඉදිරියේදී සිය වියදම් කිරීම් සීමා කිරීම් යන කාරණා නිසා ඇති වන ඍණාත්මක තත්ත්වයද එහිදී සලකා බැලූ බව ඔවුන් පවසයි.

විශේෂයෙන්ම මෙම කොරෝනා වසංගත තත්ත්වය නිසා රට පුරා ක්‍රියාත්මක ඇඳිරි නීතිය තත්ත්වයත්, අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ අලෙවි සැල් සියල්ල වසා දමා ඇති නිසාත් සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී සමාගමේ අලෙවිය දරුණු ලෙස කඩා වැටෙනු ඇතැයි  Fitch Ratings ආයතනය සඳහන් කරයි. එහිදී ලබන වසරේ ජූනි මාසයේ 30 වැනිදා වනවිට සමාගමේ මෙම අලෙවිය 60%කින් පමණ පහත බසිනු ඇතැයි අපේක්ෂා කරන බවත් එම ආයතනය පවසයි.

එසේම එම සමාගමේ අලෙවිය සම්පූර්ණයෙන්ම ප්‍රකෘතිමත්වීම සඳහා අවම වශයෙන් මාස 18ක් වත් ගත වෙනු ඇතැයිද එම ආයතනය පවසා සිටියි. රජය දැනට පනවා ඇති සීමා කිරිම් ලිහිල් කෙරුණද පාරිභෝගිකයන්ගේ ආදායම් අහිමිවීම් සහ ගෘහස්ත වත්කම්හි අඩුවීම් යනාදිය නිසා සිල්ලර වෙළෙඳ ක්ෂේත්‍රය තවදුරටත් ගැටලුවලට මුහුණ දෙනු ඇතැයි විශ්වාස කරන බවද  Fitch Ratings ආයතනය සඳහන් කරයි.

මේ අතර Fitch Ratings ආයතනය මෙරට තුළ ගෘහ විදුලි උපකරණ අලෙවි කිරීමේ නිරත තවත් ප්‍රධාන පෙළේ සමාගමක් වන අබාන්ස් පීඑල්සී සමාගමේ ශ්‍රේණිගත කිරීමත් ස්ථාවර මට්ටමේ සිට ඍණ මට්ටමක් දක්වා පහත හෙළීමට පියවර ගෙන තිබුණි. ඒ අනුව අබාන්ස් පීඑල්සී සමාගම වෙත BBB+(lka) ශ්‍රේණිගත කිරීම හිමිව තිබේ.  

මෙම පහත හෙළීම සඳහාද කෝවිඩ් -19 වසංගත තත්ත්වය නිසා එල්ල වන බලපෑම මූලිකවම හේතු වූ බව එම ආයතනය පවසා සිටියි. ඔවුන් බලාපොරොත්තු වන ආකාරයට මෙම මූල්‍ය වර්ෂය තුළදී අබාන්ස් සමාගමේ ආදායම් 40% කින් අවප්‍රමාණයවීමට නියමිතව ඇත.

විශේෂයෙන්ම රජයේ ඇඳිරි නීති තත්ත්වය හේතුවෙන් ප්‍රදර්ශනාගාර 380 කට වඩා වැඩි සංඛ්‍යාවකින් සමන්විත එම සමාගම් ජාලය මේ වනවිට සම්පූර්ණයෙන්ම වසා දමා තිබීම ඊට හේතුව ලෙස ඔවුන් පෙන්වයි. එසේම රජයේ මෙම ඇඳිරි නීති තත්ත්වය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම ලබන මැයි දක්වාම දිග්ගැස්සෙනු ඇතැයිද ඔවුන් පවසයි.

මේ අතර, රජයේ තීරණයකට අනුව අත්‍යවශ්‍ය නොවන ආනයන තහනම් කර ඇති පසුබිමකදී මෙවැනි විදුලි ගෘහ උපකරණ අලෙවි කරන සමාගම් වෙත ගැටලු ඇතිවිය හැකි බවත් Fitch Ratings ආයතනය පෙන්වා දෙයි.

විශේෂයෙන්ම මෙම ගෘහ විදුලි උපකරණවලින් 90%ත් 95%ත් අතර ප්‍රමාණයක් ආනයනය කෙරෙන ඒවා වෙයි. කෙසේ වෙතත් අබාන්ස් පීඑල්සී සමාගම සතුව තවත් මාස පහකට අවශ්‍ය භාණ්ඩ පවතින බවත් ඒ හේතුවෙන් එම සමාගමට ඉදිරි මූල්‍ය වසරේ මැදක් වන තුරුම අඩු ඉල්ලුමක් යටතේ වුවද සිය අලෙවි කටයුතු කරගෙන යාමට හැකියාව ලැබෙනු ඇතැයිද එම ආයතනය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Visits: 289