චීන වෛද්‍ය ආධාරවල අලුත්ම තොගය අද දිවයිනට

චීන වෛද්‍ය ආධාරවල අලුත්ම තොගය අද දිවයිනට

කෝවිඩ් -19 වසංගතයට එරෙහිව ශ්‍රී ලංකාව දියත් කරන සටන සඳහා ලබා දෙන දායකත්වයක් ලෙස චීන රජය මගින් ශ්‍රී ලංකාව වෙත ප්‍රදානය කරන වෛද්‍ය ආධාර තොගයේ තවත් කොටසක් අද (අප්‍රේල් 17) කොළඹ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිතව ඇතැයි කොළඹ පිහිටි ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයකින් මගින් සඳහන් කරයි.

ෂැංග්හයි නුවර සිට කොළඹ දක්වා පියාසර කරන China Eastern ගුවන් සේවයට අයත් MU231 දරණ යානය මගින් මෙම වෛද්‍ය ආධාර තොගය මෙරටට රැගෙන ඒමට නියමිතව තිබේ. මෙම වෛද්‍ය ආධාර තොගයේ වටිනාකම එක්සත් ජනපද ඩොලර් 693,191.20 ක් බවත් තානාපති කාර්යාලය පවසයි.

ඊයේ දිනයේදී එම ආධාර තොගය ෂැංග්හයි ගුවන් තොටුපොළට රැගෙන එන ආකාරයද වරින් වර එම කාර්යාලය මගින් ප්‍රසිද්ධියට පත් කෙරිණි.

මෙරට චීන තානාපති කාර්යාලය පවසන ආකාරයට මෙම වෛද්‍ය ආධාර තොගය තුළ නව කොරෝනා වෛරසය (2019-nCoV) පරීක්ෂා කරන PCR පරීක්ෂණ කට්ටල 20,016 ක්, සෞඛ්‍ය කාර්ය මණ්ඩලය භාවිතා කරන ආරක්ෂිත මුහුණු ආවරණ 10,000ක්, ශල්‍ය මුහුණු ආවරණ 100,000ක්, භාවිතයෙන් පසු ඉවත් කළ හැකි ආරක්ෂිත ඇඳුම් 10,000ක්, සෞඛ්‍ය කාර්ය මණ්ඩලය භාවිත කරන ඇස් ආවරණ කට්ටල 1,000 ක් සහ එක්වරක් පමණක් භාවිත කරන ශල්‍ය අත්වැසුම් යනාදී උපකරණ තිබේ.

මෙලෙස අත්‍යවශ්‍ය වෛද්‍ය ආධාර ලබාදීම මෙම කෝවිඩ්-19 වසංගත අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ ජනතාව සහ එහි වෛද්‍ය කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව පිළිබඳ ඉහළ අවධානයක් යොමු කරවීමට ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලයට ලැබුණු නව අවස්ථාවක් ලෙසද සලකන බව ඔවුන් පවසයි.

එසේම මෙම කෝවිඩ්-19 වසංගතයට එරෙහි සටනේ සාර්ථකත්වය සඳහා ශ්‍රී ලංකාව වෙත සුභපැතුම් එක් කරන බවද තානාපති කාර්යාලය සිය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Visits: 17