නිෂ්පාදන අංශ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ඉතිහාසයේ අඩුම අගය වාර්තා කරයි

නිෂ්පාදන අංශ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ඉතිහාසයේ අඩුම අගය වාර්තා කරයි

2020 මාර්තු මාසයේදී ශ්‍රී ලංකා ගැණුම් කළමනාකරුවන්ගේ දර්ශක අගය 30.0 ක් බවට පත්වූ බව ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව පවසයි. මෙය 2020 පෙබරවාරි මාසයේදී දර්ශක අගය වූ 53.6 සාපේක්ෂව දර්ශකාංක 23.6 කින් පහළ යාමක් ලෙස සටහන්ව තිබේ.

COVID-19 වසංගතයේ බලපෑමත් සමග නිෂ්පාදන ක්‍රියාකාරකම්වල සිදු වූ සැලකිය යුතු පහළ යෑම හේතුවෙන් මෙලෙස නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය පහළ වැටීමට හේතු වූ බව මහ බැංකුව  පවසයි. ඒ අනුව මෙය ශ්‍රී ලංකා ගැණුම් කළමනාකරුවන්ගේ දර්ශකය ඉතිහාසයේ වාර්තා කළ අඩුම අගය ලෙසද ඉතිහාසයට එක්ව තිබේ.

“COVID-19 වසංගතය මගින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදන අංශය කෙරෙහි ඇති බලපෑම පිළිබිඹු කරමින්, නව ඇණවුම් සහ නිෂ්පාදන උප දර්ශකවල සිදු වූ සැලකිය යුතු පහළ යාම, නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයේ මෙම පහළ යාම සඳහා ප්‍රධාන ලෙස හේතු විය.” මහ බැංකු සංඛ්‍යාන දෙපාර්තමේන්තුව පවසයි.

මාර්තු මස මැද සිට ඇඳිරි නීතිය පැනවීමත් සමග නිෂ්පාදන අංශයේ සමාගම් වසා දැමීමට සිදුවීම, නිෂ්පාදනයේ සිදු වූ සැලකිය යුතු පහළ යාමට හේතු වී තිබේ. තවද මෙම සමාගම් වසා දැමීම නිසා නිෂ්පාදන ක්‍රියාවලිය ඇණහිටීමත් සමගම නව ඇණවුම් සහ තොග මිලදී ගැනුම්හි සැලකිය යුතු පහල යාමක්ද සිදුව තිබේ. එසේම මාර්තු මස මුල් කාලයේ එක්සත් ජනපදයෙන් සහ යුරෝපා රටවලින්, විශේෂයෙන්ම රෙදිපිළි හා ඇගලුම් සඳහා ලැබුණු ඇණවුම්, එම රටවල වෛරසයේ සිදුවූ ව්‍යාප්තියත් සමග අවලංගු කර ඇතැයි මහ බැංකුව පවසයි.

විශේෂයෙන්ම මාර්තු මාසයේදී සැපයුම්කරුවන්ට ඇනවුමක් සැපයීමට ගත වූ කාලයද ඉහළ ගොස් ඇති බවට හඳුනාගෙන ඇත. ඒ සඳහා හේතුව වී ඇත්තේ වසංගතය ව්‍යාප්තියත් සමග නැව් භාණ්ඩ ප්‍රවාහනයේ සහ දේශීය වශයෙන් භාණ්ඩ ප්‍රවාහනයේ සිදුවූ ප්‍රමාදයන් බව හඳුනාගෙන ඇත.

මේ අතර, නිෂ්පාදකයන් සඳහන් කරන ආකාරයට, නව කොරෝනා වෛරසය මගින් ගෝලීය සැපයුම් පද්ධතිය මෙන්ම ඉල්ලුම කෙරෙහි බලපෑමක් ඇති කළ හැකි බව මහ බැංකුව පවසයි. එබැවින් ඉදිරි මාස තුන සඳහා නිෂ්පාදන ක්‍රියාකාරකම්වල සමස්ත අපේක්ෂාවන් සැලකිය යුතු ලෙස පහළ යනු ඇතැයිද ශ්‍රී ලංකා මහ බැංකුව පවසා සිටියි.

Visits: 44