COVID-19 නිසා ඉන්දියාවේ දූර්දර්ශනුත් අතීත කාමය අවුස්සවයි

COVID-19 නිසා ඉන්දියාවේ දූර්දර්ශනුත් අතීත කාමය අවුස්සවයි

ඉන්දියානු රජයට අයත් රූපවාහිනි විකාශන ආයතනය වන ප්‍රසාර් බාර්ති මගින් සිය දූර්දර්ශන් සන්නාමය (DD) යටතේ දූර්දර්ශන් රෙට්රෝ (DD Retro) නමින් නව රූපවාහිනි නාලිකාවක් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇතැයි වාර්තා වෙයි.

මෙය පසුගිය සඳුදා සිට ඉන්දීය රජය යටතේම ක්‍රියාත්මක චන්ද්‍රිකා රුපවාහිනි විකාශන සේවාව වන DD Free Dish DTH යටතේ විකාශන කටයුතු සිදු කරයි.

සිය දුර්දර්ශන් රූපවාහිනි නාලිකා හරහා දැනට වසර ගණනාවකට පෙර විකාශය කෙරුණු, තවමත් ප්‍රේක්ෂක හදවත්හි ආකර්ෂණය දිනූ මාලා නාට්‍ය ඇතුළු වැඩසටහන් විකාශය කිරීම වෙනුවෙන් මෙම නව DD Retro නාලිකාව ආරම්භ කර තිබේ.

එහිදී විශේෂයෙන්ම COVID-19 වසංගත තත්ත්වය පාලනය සඳහා ඉන්දීය රජය එරට සම්පූර්ණයෙන්ම වසා දමා ඇති පසුබිමක (LOCK DOWN) නිවෙස්වලට වී සිටින ජනතාවගේ විනෝදාස්වාදය වෙනුවෙන් මෙම නව නාලිකාව ඇරඹීමට හේතු වුණු බව දූර්දර්ශන් ආයතනය පවසා සිටියි.

ඒ අනුව මෙය දැනට වසර කිහිපයකට පෙරාතුව එරට තුළ ඉමහත් ජනාදරයට පත් වූ වැඩසටහන් සඳහා ඉන්දීය ජනතාව තුළ පවතින අතීත කාමය යළිත්වරක් කරළියට ගෙන ඒම සඳහා දියත් කළ නාලිකාවක් බව දූර්දර්ශන් නාලිකාව සඳහන් කරයි.

මෙහිදී දුර්දර්ශන් නාලිකාව හරහා විකාශය වූ චානක්‍ය, උපනිෂද් ගංගා, මුඛේෂ් ඛන්නා ප්‍රධාන චරිතය රඟපෑ සුපිරිවීර චරිතයක් රැගත් ශක්තිමාන්, හාස්‍යෝත්පාදක නාට්‍යයක් වූ ශ්‍රීමාන් ශ්‍රීමති, ෂාරුක් ඛාන්ගේ සර්කස්, රහස් පරීක්ෂක කතාමාලාවක් වූ බ්යෝම්කේස් බක්ෂි යනාදිය ඇතුළු තවත් නිර්මාණ රැසක්ම මෙම නව නාලිකාව හරහා විකාශය කිරිමට නියමිතව ඇත.

COVID-19 වසංගත තත්ත්වය නිසා ඉන්දියාව සම්පූර්ණයෙන්ම වසා දැමීමෙන් අනතුරුව පසුගිය සතියේදී දුර්දර්ශන් නාලිකාව සතියේ දිනවල පෙරවරු 9ත් රාත්‍රී 9ත් යන ගුවන් කාලය සඳහා රාමායනය නාට්‍ය විකාශයට කටයුතු යොදා ඇත. එහිදී එය ඊට සති දෙකකට පෙරාතුව එම කාලයේදී නාලිකාව නැරඹූ ප්‍රේක්ෂකයන් ප්‍රමාණයට වඩා 60 ගුණයක වැඩි වීමක් නිරීක්ෂණය කර ඇත. එසේම දහවල් 12 ට සහ රාත්‍රී 7ට ඔවුන් මහාභාරත් ටෙලිනාට්‍යය විකාශය කර ඇති අතර, එහිදී ඊට සති දෙකකට සාපේක්ෂව ප්‍රේක්ෂක ආකර්ශණය 208 වාරයකින් ඉහළ ගොස් ඇත.

ඒ අනුව දූදර්දර්ශන් නාලිකාවේ මෙම එළැඹුම ශ්‍රී ලංකාවේ ජාතික රූපවාහිනිය ඇතුළුව නාලිකා කිහිපයක් අද දවසේදී සිය පැරණි වැඩසටහන් යළිත් විකාශය කරමින් මෙරට ප්‍රේක්ෂකයන්ගේ අතීත මතකයන් යලිත් ආවර්ජනය කරවීමේ උත්සාහය හා සමාන අවස්ථාවක් බවටත් පත්ව තිබේ.

මේ අතර, අලුතින් හඳුන්වාදුන් මෙම DD Retro නාලිකාව ඇතුළුව දූර්දර්ශන් නාලිකා ඉන්දියාවේ ක්‍රියාත්මක චන්ද්‍රිකා රූපවාහිනි නාලිකා සපයන සමාගම් සියල්ලකම පාහේ විකාශය කිරීම සඳහා කටයුතු යෙදිය යුතු බවටත් එරට රජය පසුගියදා නියෝගයක්ද නිකුත් කර තිබේ.

Visits: 74