මුදල් නැති වියට්නාම ජනතාවට ATM ක්‍රමයට නොමිලේ සහල්

මුදල් නැති වියට්නාම ජනතාවට ATM ක්‍රමයට නොමිලේ සහල්

නව කොරෝනා වෛරසය හෙවත් COVID-19 වසංගත තත්ත්වය හේතුවෙන් වියට්නාමය තුළ පනවා ඇති තහනම් නිසා සිය එදිනෙදා ජීවනෝපාය අහිමි ජනතාවට අවශ්‍ය සහල් නොමිලේ ලබා දීමේ සේවාවක් ආරම්භ කිරීමට හැනෝයි නගරය තුළ කටයුතු යොදා ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව මෙහිදී ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන ක්‍රමවේදයක් ආධාරයෙන් හැනොයි නුවර ජනතාවට අවශ්‍ය සහල් ලබාදීම සිදුවන අතර මේවා %සහල් ATM (Automated Teller Machines)^ ලෙස හඳුන්වාදී තිබේ. සෑම දිනකම පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා කාලය තුළදී තමන් රැගෙන එන මල්ලකට මෙම යන්ත්‍ර මගින් සහල් ලබා ගැනීමේ හැකියාව ඇත. ඒ සඳහා අවශ්‍ය සහල් ඉහළින් පිහිටි විශාල ජල ටැංකි තුළ ගබඩා කර තබා තිබේ.

හැනොයි පළාතේ ව්‍යාපාරිකයන් සහ දානපතියන් එක්ව මෙම කටයුතු සම්පාදනය කර  ඇතැයි පැවසෙයි. එක් වරකට එක් පුද්ගයෙකුට ලබා දෙන්නේ සහල් කිලෝ දෙකක් පමණකි.

මෙම ස්ථානවලින් සහල් ගැනීමට පැමිණෙන පිරිස් අඩි හයක පරතරයක් සහිතව පෝලිමේ සිට සහල් ලබා ගත යුතුය. එහිදී සහල් ලබා ගැනීමට පෙරාතුව ඔවුන් සියලු දෙනාම විෂබීජහරණ දියරයක් යොදා ගනිමින් සිය දෑත් පිරිසිදු කරගැනීමත් අනිවාර්යය කර තිබේ.

දැනට හෝ චි මින් සිටි නගරයේ පිහිටුවා ඇති මෙම සහල් ATM යන්ත්‍රවලට අමතරව ඉදිරියේදී ඩා නාන්ග් නගරයේදීද මෙවැන්නක් ඉදි කිරීමට කටයුතු යොදා ඇතැයිද වියෙට්නාම මාධ්‍ය පවසයි.

මේ දක්වා වියෙට්නාමය තුළ නව කොරෝනා හෙවත් COVID-19 ආසාදිතයන් 265 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, මේ දක්වා කිසිදු මරණයක් වාර්තා වී නැත. එහෙත් වෛරසය තවදුරටත් ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා එරට බලධාරීන් රට සම්පූර්ණයෙන්ම වසා දැමීමට  හෙවත් ලොක්ඩවුන් තත්ත්වයට පත් කර තිබේ.

Visits: 62