රජය මිලට ගත් හම්බන්තොට කෙසෙල් අදම ගම්පහට

රජය මිලට ගත් හම්බන්තොට කෙසෙල් අදම ගම්පහට

රජය විසින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ කෙසෙල් ගොවීන්ගේ අස්වනු මිලදී ගැනීම අද (අප්‍රේල් 15) දිනයේදී ආරම්භ කෙරුණු බව දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.එච්. කරුණාරත්න මහතා පවසයි. ඒ අනුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන ස්ථාන නවයකදී මෙම මිලදී ගැනීම් සිදුව තිබේ.

බරවකුඹුක, බෙරලිහෙල, අගුණුකොළපැලැස්ස, සූරියවැව, විහාරගල, වෙනිවැල් ආර, බෝලාන සහ කොග්ගල්ල යන ස්ථානවලදී මෙම මිලදී ගැනීම් ස්ථාන පිහිටා ඇත.

ඒ අනුව ඇඹුල් කිලෝවක් රුපියල් 30ක මුදලකටද කෝලි කොට්ටු කිලෝවක් රුපියල් 80ක මුදලකටද මෙහිදී මිලදී ගැනීම සිදු කර ඇතැයි පැවසෙයි.

එහිදී දිස්ත්‍රික් ලේකම්වරයාගේ මඟ පෙන්වීම අනුව අම්බලන්තොට, සූරියවැව, අගුණුකොළපැලැස්ස, ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය සභාපතිවරුන්ගේ සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ හා දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂවරයාගේද අධීක්ෂණය යටතේ මෙම මිලදී ගැනීම් සිදුව ඇත.

මෙම මිලදී ගැනීම් සඳහා ගොවීන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමද උපයෝගී කරගනිමින් සිය අස්වැන්න රැගෙන ඒම සිදු කරන බවත් දිස්ත්‍රික් ලේකම්වරයා පවසා සිටියි.  

අද දිනයේදී මිලදී ගන්නා මෙම අස්වැන්න ගම්පහ දිස්ත්‍රික්කය වෙත අද සන්ධ්‍යාවේදීම පිටත් කර හැරීමට කටයුතු යොදා තිබේ. ඒ අනුව හම්බන්තොට දිස්ත්‍රික්කයේ කෙසෙල් අස්වැන්න අවසන් වන තුරුම මෙම ස්ථානවලදී මිලදී ගැනීම් සිදු කිරීමට කටයුතු යොදා ඇතැයිද දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් පවසා සිටියි.

අත්‍යවශ්‍ය සේවා සඳහා වූ ජනාධිපති විශේෂ කාර්ය සාධක බලකාය යටතේ සිදු කරන එළවලු සහ මිලදී ගැනීමේ දෙවැනි අදියර යටතේ මෙම කෙසෙල් අස්වැන්න මිලදී ගැනීම සිදුව තිබේ. අද දිනයේදී හම්බන්තොට දිස්ත්‍රික්කයට අමතරව අනුරාධපුර, බදුල්ල, රත්නපුර දිස්ත්‍රික්කවලදී මෙම වැඩසටහන ආරම්භ කර තිබේ. ඒ අතරින් කෙසෙල් මිලදී ගැනීම හම්බන්තොට සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලදී ක්‍රියාත්මක විය.

ඡායාරූප – දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය – හම්බන්තොට – එච්.බී.ජනක ප්‍රසාද්

Visits: 28