කීල්ස් වෙළෙඳ සැල්වල අද සිට පරිප්පු රු. 134යි, සැමන් රු. 192 යි

කීල්ස් වෙළෙඳ සැල්වල අද සිට පරිප්පු රු. 134යි, සැමන් රු. 192 යි

පරිප්පු සහ සැමන් සඳහා රජය යොදවා තිබූ පාලන මිල මේ වනවිට ඉවත් කර ඇති හෙයින් අද (අප්‍රේල් 15) වැනිදා සිට සිය සුපිරි වෙළෙඳ සැල් තුළ අලෙවි කරන පරිප්පු සහ සැමන් මිල ඉහළ දමා ඇතැයි කීල්ස් සුපිරි වෙළෙඳ සැල් ජාලය පවසයි.

කෙසේ වෙතත් මෙම කාලසීමාවේදී පාරිභෝගිකයන් මුහුණපා සිටින දුෂ්කරතා සලකා බලා කිසිදු ලාභයක් නොමැතිව මෙම නිෂ්පාදන අලෙවි කිරීමටද කටයුතු යොදා ඇතැයිද එම ජාලය පවසා සිටියි.

ඒ අනුව පරිප්පු කිලෝග්‍රෑමයක් සිය ගැණුම් මිල වන රුපියල් 134ටත්, සැමන් ටින් මාලු ග්‍රෑම් 425 ටින් එකක් රුපියල් 192ක් වන සිය ගැණුම් මිලටත් වඩා අඩුවෙන් ලබාදීමටත් කටයුතු සලසා ඇතැයි කීල්ස් සුපිරි වෙළෙඳ සැල් ජාලය පවසා සිටියි.

එසේම නැවත දන්වන තුරු එක් පාරිභෝගිකයෙකුට සිය වෙළෙඳ සැල් හරහා මිලදී ගත  හැකි ප්‍රමාණය පරිප්පු කිලෝග්‍රෑම් 2ක් හා සැමන් ටින් දෙකකට සීමා කර ඇතැයිද එම ජාලය නිවේදනයක් මගින් පවසා සිටියි.

පසුගිය මාසයේදී රජය පැනවූ පාලන මිල ගණන් යටතේ එම රෙගුලාසිවලට අනුගතව සිය වෙළෙඳ සැල් ජාලය පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 65කටත්, සැමන් ටින් එකක් රුපියල් 100කටත් අලෙවි කළ බවද සමාගම පවසයි. එහිදී මෙම භාණ්ඩ ඉහත මිල ගණන්වලට වඩා ඉහළ මිලකට මිලදී ගෙන තිබූ හෙයින් එම වෙනස පියවීමට රජය කටයුතු කරන බවට තමන් වෙත දන්වා තිබූ බවද කීල්ස් සුපිරි වෙළෙඳ සැල් ජාලය පවසයි.

කෙසේ වෙතත් රජය පසුගියදා ගත් තීරණයකට අනුව අප්‍රේල් 10 වැනිදා සිට ඉහත කී පාලන මිල ලක් සතොස සහ සමූපකාරවලට පමණක් අදාළ වන බවත්, මීට පෙර රජය එකඟ වූ එම වෙනස පියවීමට තවදුරටත් කටයුතු නොකරන බවට රජය දැනුම් දී ඇතැයිද එම සුපිරි වෙළෙඳ සැල් ජාලය වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Visits: 77