ශ්‍රී ලංකන් ගුවන් ගමන් තාවකාලික තහනම අප්‍රේල් 30 දක්වා දිගු කෙරේ

ශ්‍රී ලංකන් ගුවන් ගමන් තාවකාලික තහනම අප්‍රේල් 30 දක්වා දිගු කෙරේ

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සිය ගුවන් මෙහෙයුම් තාවකාලිකව නතර කිරීමේ තීරණය ලබන අප්‍රේල් 30 දක්වා දිගු කර ඇතැයි එම සමාගම නිවේදනයක් මගින් සඳහන් කරයි. තම සමාගම ගුවන් මෙහෙයුම් සිදු කරන ලොව රටවල් රැසක්ම තවමත් සංචාරක තහනම් පනවා තිබීම ඊට හේතුව බව ගුවන් සමාගම පවසයි.

COVID-19 වසංගතයේ ලෝක ව්‍යාප්තියත් සමගින්ම ලොව රටවල් රැසක්ම සංචාරක තහනම් පැමිණවීමත් සමගින්ම සිය ව්‍යාපාරය වෙත සිදුවන අලාභ පිළිබඳව සලකා බලා ශ්‍රී ලංකන් ගුවන් සමාගම අප්‍රේල් මාසය මුලදී මෙලෙස සිය සියලුම ගුවන් මෙහෙයුම් තාවකාලිකව නවත්වා දැමීමට තීරණය කර තිබුණි.

ඒ අනුව අප්‍රේල් 08 වැනිදා සිට අප්‍රේල් 21 වැනිදා දක්වා මෙම ගුවන් ගමන් නවතා දැමෙන බව සමාගම නිවේදනයක්ද නිකුත් කර තිබුණි. කෙසේ වෙතත් පවතින තත්ත්වය අනුව මෙම කාලය තවත් දින 9කින් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ පාලනාධිකාරිය තීරණය කර තිබේ.

එහෙත් ගුවන් සමාගම මගින් සිය ලෝක ව්‍යාප්ත ගමනාන්ත ජාලය වෙත සිදු කරන භාණ්ඩ ප්‍රවාහන කාර්ගෝ මෙහෙයුම් එලෙසින්ම ක්‍රියාත්මක බවත්, හදිසි අවස්ථාවකදී විශේෂ ගුවන් වාර ක්‍රියාත්මක කිරීමේ හැකියාව පවතින බවත් ගුවන් සමාගම වැඩි දුරටත් සඳහන් කර සිටියි.

Visits: 26