කොරෝනා නිසා අවුරුදු සීසන් එකම හාන්සියි – ගෘහ විදුලි උපකරණ අලෙවි සැල් හිමිකරුවෝ පවසති

කොරෝනා නිසා අවුරුදු සීසන් එකම හාන්සියි – ගෘහ විදුලි උපකරණ අලෙවි සැල් හිමිකරුවෝ පවසති

පසුගිය මාර්තු මාසය ආරම්භයේ සිට රට තුළ ව්‍යාප්ත වුණු නව කොරෝනා හෙවත් COVID-19 වසංගතය හේතුවෙන් නව අවුරුදු උත්සව සමයේ බලාපොරොත්තු වූ වෙළෙඳාම් සියල්ලම තමන්ට අහිමිවී ගොස් ඇතැයි ගෘහ විදුලි උපකරණ ප්‍රදර්ශනාගාර පවත්වාගෙන යන යන පිරිස් පවසයි.

විශේෂයෙන්ම මෙම වසංගත තත්ත්වය හේතුවක් කරගනිමින් රට පුරා ඇඳිරි නීතිය පැණවීමත් සමගම ජනතාව නගර වෙත නොපැමිණීමත්, වසංගතයත් සමගම ජනතාව තුළ ඇති වුණු ආර්ථික අඟහිඟතාත් මේ සඳහා හේතු වුණු බව ඔවුන්ගේ අදහස වී තිබේ.

ජාත්‍යන්තර සන්නාමයන්ගෙන් යුත් ගෘහ විදුලි උපකරණ මෙරටට ආනයනය කරන ප්‍රමුඛ පෙළේ සමාගම්, දිවයිනම ආවරණය වන පරිදි මෙලෙස සිය අලෙවි සැල් සහ ප්‍රදර්ශනාගාර පවත්වාගෙන යාම සිදු කරයි. එහිදී ඇතැම් ප්‍රදර්ශනාගාර ඔවුන්ගේ වරලත් අලෙවි නියෝජිතයන් ලෙසද කටයුතු කරයි. ඒ අනුව එම අලෙවි සැල්වල මාසික කුලී ගෙවීමද මේ වනවිට ගැටලුවක් වී තිබේ.

“මාර්තු මාසේ  මැදදී ආරම්භ වුණු මේ අයහපත් තත්ත්වය තවමත් නැති වෙලා නැහැ. දැන් අවුරුද්දත් ලබනවා. සාමාන්‍යයෙන් මාර්තු මැද ඉදන් අප්‍රේල් අවසන් වෙනකම්ම මේ අවුරුදු සීසන් එක තියෙනවා. ඒත් මේ අවුරුද්දේ අපිට ඒ සීසන් එක අත්හරින්න වෙනවා.” එක් සුප්‍රසිද්ධ සන්නාමයක් යටතේ පවත්වාගෙන යන ගෘහ විදුලි උපකරණ ප්‍රදර්ශනාගාරයක කළමනාකරුවෙකු පවසා සිටියේය.

මේ හේතුවෙන් සිය සේවකයන්ගේ මාර්තු මාසයේ වැටුප් ගෙවීමද ගැටලුවක් වී ඇති බවත්, අප්‍රේල් මාසයේ උත්සව දීමනා හෝ කිසිදු වරප්‍රසාදයක් නොමැතිව ප්‍රදර්ශනාගාරය වසා දමා සේවකයන් සියලු දෙනාම ගම්බිම් බලා ගොස් ඇතැයිද ඔහු එහිදී පවසා සිටියේය.

දැනටමත් මෙරටට විදුලි උපකරණ ආනයනය කරන ප්‍රධාන පෙළේ සමාගම් දෙකක් ආර්ථික අර්බුදයට මුහුණදීමක් ලෙස සිය සේවක වැටුප් කප්පාදු කිරීම් පිළිබඳවද නිවේදන නිකුත් කර ඇත. මෙම සමාගම් ආසන්න කාලසීමාවේදී කොළඹ නගරය තුළ විවෘත වුණු සුඛෝපභෝගී සාප්පු සංකීර්ණ තුළ පවා සිය ප්‍රදර්ශනාගාර ආරම්භ කළ අතර, ඒ සඳහාද අතිවිශාල මුදලක් වැය කිරීමට ඔවුන්ට සිදුව තිබේ.     

මේ අතර, පවතින අයහපත් ආර්ථික තත්ත්වය හේතුවෙන් රට තුළ විදේශ විනිමය ආරක්ෂා කරගැනීමේ අරමුණින් රජයද අප්‍රේල් මුල සිට මෙරටට අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය තහනම් කර තිබේ. එහිදී අත්‍යවශ්‍ය ඖෂධ සහ ඉන්ධන හැර අනෙකුත් පාරිභෝගික භාණ්ඩ වන මෝටර් රථ, රූපවාහිනී – ශීතකරණ – රෙදි සෝදන යන්ත්‍ර ඇතුළු ගෘහවිදුලි උපකරණ, ජංගම දුරකතන මෙන්ම ආලේපන, සුවඳ විලවුන් වැනි භාණ්ඩ පවා ආනයනය තහනම් කර ඇත.

මේ තත්ත්වය මෙරට තුළ සිටින ගෘහ විදුලි උපකරණ ආනයනය කර අලෙවි කරන මෙම ප්‍රධාන පෙළේ සමාගම් වෙත බලපෑම් එල්ල වී ඇති අතර, ඊටත් වඩා ඩොලරයට සාපේක්ෂව රුපියලේ අවප්‍රමාණය වීම මෙම ආනයන වෙත දැඩිව බලපා ඇතැයිද ඔවුහු පෙන්වා දෙති.

“දැන් රටේ ගෘහ විදුලි උපකරණ අලෙවියෙත් ලොකු තරගයක් තියෙන්නේ. සමාගමක් ගොඩක් ඉන්නවා. හැම තැනකම ප්‍රදර්ශනාගාර විවෘත වෙනවා. තරගකාරී ඔෆර්ස් එනවා. පසුගිය අවුරුද්දේ පාස්කු ප්‍රහාරය එල්ල වුණාට පස්සෙත් රටේ ඇති වුණු අයහපත් තත්ත්වය නිසා ගෘහ විදුලි උපකරණ අලෙවිය අඩු වුණා. ඊට පස්සේ දෙසැම්බර් වගේ වෙන කොට ඒක හරි ගියා. හැම දෙනාම බලාගෙන හිටියේ අප්‍රේල් මාසේ සේල්ස් දිහා.” එක් සමාගමක ප්‍රධානියෙකු එලෙස පවසා සිටියේය.

සාමාන්‍යයෙන් මෙම සමාගම් නව අවුරුදු සමය ඉලක්ක කරගනිමින් පිළිගත් වාණිජ බැංකුවල ක්‍රෙඩිට් කාඩ් පත් සහ ඩෙබිට් කාඩ්පත් වෙනුවෙන් විවිධ වට්ටම් ප්‍රදානය කිරීම සිදු කරයි. මාර්තු මාසය අගදී ආරම්භ වන මෙම වට්ටම් කාලසීමාව මැයි ආරම්භය දක්වාම ක්‍රියාත්මක වෙයි.  

කෙසේ වෙතත් COVID-19 වසංගත තත්ත්වය නිමාවීමෙන් අනතුරුව වුවද ජනතාව තුළ මෙම ගෘහ විදුලි උපකරණ පිළිබඳ වැඩි ඉල්ලුමක් ඇති නොවන බවද ඔහුගේ අදහස වී තිබේ.

විශේෂයෙන්ම මේ වසංගත තත්ත්වයෙන් පසුව ඇති වූ ආර්ථික කඩා වැටීම නිසා බොහෝ දෙනෙකුගේ රැකියා අහිමිවීමේ හෝ වැටුප් කප්පාදු කිරීමේ අවස්ථාවන් වෙත මුහුණ දීම නිසා නිවෙස් වෙත මෙවැනි භාණ්ඩ මිලදී ගැනීමක් සිදු නොවනු ඇති බවටත්, සමාගම් සිය ප්‍රාග්ධන වියදම් කපා හැර ඇති නිසා ඔවුන්ද විදුලි උපකරණ මිලදී ගැනීමක් සිදු නොකරනු ඇති බවත් අදහස වී ඇත.

“හුඟ දෙනෙක්ගේ අතේ දැන් සල්ලි තියෙනවා. ඒත් ඒවා ජීවත්වෙන්න විතරයි. වසංගතය අවසන් වුණාට පස්සේ රටේ මොනවගේ ආර්ථික අර්බුදයක් හට ගනීද කියලා හිතන්න බැහැ. ඒ කියන්නේ ලබන නත්තල් උත්සව සමය ගැනවත් අපිට වැඩි බලාපොරොත්තු තියා ගන්න බැහැ.” තවත් සුප්‍රසිද්ධ සමාගමක කළමනාකාරවරයෙකු සඳහන් කළේය.

Visits: 72