පුද්ගල අත්තිකාරම් බද්ද සහ ආදායම් අත්තිකාරම් බද්ද ලෙස නව බදු දෙකක්?

පුද්ගල අත්තිකාරම් බද්ද’ සහ ‘ආදායම් අත්තිකාරම් බද්ද’ ලෙස නව බදු දෙකක්?

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් වැඩි කරගැනීමේ අරමුණින් මෙරට සිටින ඉහළ ආදායම් ලබන්නන් සහ සමාගම් ඉලක්ක කරගනිමින් නව බදු කිහිපයක් හඳුන්වාදී ඇතැයි මාධ්‍ය වාර්තා පවසයි. ඒ අනුව මාසික ආදායම දෙලක්ෂ පනස් දහස සහ වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 30 වන පුද්ගලයන් සහ ආයතන මෙහිදී ඉලක්ක වන බව සඳහන් වෙයි.

පසුගියදා එම දෙපාර්තමේන්තුව මගින් නිකුත් කෙරුණු ‘2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සඳහා වන යෝජිත වෙනස්කම් ක්‍රියාත්මක කිරීම’ නම් නිවේදනය යටතේ මෙම බදු හඳුන්වාදීම සිදු කර තිබෙන බව මේ පිළිබඳව පුවතක් පළ කරන සන්ඩේටයිම්ස් පුවත්පත පවසයි.

කෙසේ වෙතත් මෙම සංශෝධනය හරහා සිදුව ඇත්තේ පසුගිය ජනවාරි මාසයේදී රජය විසින් ජනතාවට යම් බදු සහනයක් ලබා දීමේ අරමුණින් සංශෝධනය කරන ලද උපයන විට ගෙවීමේ බදු (PAYE Tax) සහ රඳවා තබා ගැනීමේ බදු (WHT-With holding Tax) යළි හඳුන්වාදීමක් බවටද මෙම වාර්තාව මගින් කරුණු අනාවරණය කර සිටියි.

විශේෂයෙන්ම COVID-19 වසංගත තත්ත්වයත් සමගම රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමේ පිළියමක් ලෙස මෙම නව බදු හඳුන්වාදීම සිදුවන්නට ඇතැයි විශ්වාස කෙරේ.

ඒ අනුව ඉවත් කරන ලද ‘උපයන විට ගෙවීමේ බද්ද’ (PAYE Tax) යන්න වෙනුවට ‘පුද්ගල අත්තිකාරම් බද්ද’ (APIT – Advanced Personal Income Tax) සහ රඳවා තබා ගැනීමේ බද්ද (WHT-With holding Tax) වෙනුවට ආදායම් අත්තිකාරම් බද්ද (AIT – Advanced Income Tax) ලෙස නව බදු දෙකක් හඳුන්වාදී ඇතැයි පැවසෙයි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ මෙම නිවේදනය තුළ සඳහන් අන්දමට, “2020.04.01 දින සිට බලපැවැත්වෙන පරිදි, දළ පාරිශ්‍රමිකය මසකට රුපියල් 250,000ක් හෝ තක්සේරු වර්ෂයකට රුපියල් 3,000,000 ඉක්මවන සේවා නියුක්තිකයෙකුගේ ඉල්ලීම මත සේවායෝජකයා විසින් පුද්ගල ආදායම් අත්තිකාරම් බද්ද (Advanced Personal Income Tax) අඩු කළ හැකිය.” යනුවෙන් සඳහන් වෙයි. එසේම මේ සම්බන්ධයෙන් වන වෙනම උපදෙස් මාලාවක් ඉදිරියේදී පළ කරන බවද දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එසේම “2020.04.01 දින සිට බලපැවැත්වෙන පරිදි, වාසික තැනැත්තෙකු වෙත ලාභාංශ, පොලී, වට්ටම්, ගාස්තුවක්, ස්වාභාවික සම්පත් ගෙවීමක්, කුලී රාජ්‍ය භාග, වාරික මුදලක් හෝ විශ්‍රාම ගෙවීමක් සහ / හෝ එවැනි පුද්ගලයෙකු විසින් ඉටු කරන සේවාවක් මත ගෙවීමක් යම් නිත්‍ය ස්ථාවර ගෙවීමක් වේ නම් (පොලී,කුලී වැනි) ගෙවීම ලබන්නාගේ ඉල්ලීම මත, එම ගෙවීම කරනු ලබන්නා විසින් (ගෙවීම කරනු ලබන්නා රඳවා ගැනීමේ අනුනියෝජිතයෙකු වේ නම්) රඳවා ගැනීමේ අනු නියෝජිතයා වෙත ඉදිරිපත් කරනු ලබන ප්‍රකාශනයේ පරිදි ආදායම් අත්තිකාරම් බදු (Advanced Income Tax) අඩු කළ හැකිය.” යනුවෙන්ද එහි සඳහන් වෙයි.

මෙහිදී බදු සඳහා ලියාපදිංචි වී නොමැති පුද්ගලයන් මෙම කාර්යය සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතු බවත් එම නිවේදනයේ සඳහන් වෙයි.

මේ සම්බන්ධයෙන් පුවත්පත වෙත අදහස් දක්වා සිටින දේශීය ආදායම් දෙපාර්තමේන්තුයේ නියෝජ්‍ය කොමසාරිස් ආර්.එම්.ජයසිංහ මහතා, සිය දෙපාර්තමේන්තුව මගින් මෙලෙස වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 30කට හෝ ඊට වැඩි පිරිස් සඳහා වෙනමම බදු ගොනුවක් පවත්වාගෙන යාමට කටයුතු කරන බව  පවසා ඇත.

“පැහැදිලිවම මේ නව ආදායම් අත්තිකාරම් බද්ද (Advanced Personal Income Tax) හඳුන්වාදී තිබෙන්නේ පසුගිය කාලසීමාවේදී උපයන විට බදු ගෙවූ පිරිස සඳහායි. එහෙත් එය මීට පෙර පැවැති සංකීර්ණ ක්‍රමයට වඩා වඩාත් සරල සහ නම්‍යශීලි ක්‍රමයකින් ඉදිරිපත් වෙලා තිබෙනවා.” ඒ මහතා සඳහන් කර තිබේ.

මේ අතර, වර්තමාන රජය මගින් පසුගිය ජනවාරි මාසයේදී නව බදු සහන හඳුන්වාදීමෙන් අනතුරුව ගෙවුණු මාස තුනක කාලය තුළදී සිය දෙපාර්තමේන්තුව සැලකිය යුතු බදු ආදායමක් රැස් කරගැනීමට අපොහොසත් වී ඇතැයිද නියෝජ්‍ය කොමසාරිස්වරයා මෙහිදී පවසා ඇත. එසේම COVID-19 වසංගතය හේතුවෙන් ආර්ථික කටයුතු කඩාවැටීම හේතුවෙන් ඉදිරියේදීද ඉහළ බදු ආදායමක් ලබා ගැනීමේ අවස්ථාවක් නොපවතින බවද පැවසෙයි.

Visits: 1505