මෙරටදී නිපදවූ වෛරස් පරීක්ෂණ කුටිය

මෙරටදී නිපදවූ වෛරස් පරීක්ෂණ කුටිය

කෝවිඩ්-19 වෛරස ආසාදිතයන් පරීක්ෂා කිරීම සඳහා දකුණු කොරියාව ඇතුළු විදේශයන්හිදී භාවිතයට ගන්නා වෛරස් පරීක්ෂණ කුටියක ආදර්ශයක් අනුව, මෙරටදීද එවැනි කුටියක් නිර්මාණය කරන්නට නිෂ්පාදකයන් කිහිප දෙනෙකු සමත්ව ඇතැයි වාර්තා වෙයි.

ඉහළ ප්‍රමිතියෙන් යුක්තව, එහා මෙහා ගෙන යා හැකි ලෙස නිර්මාණය කර ඇති මෙම වෛරස් පරීක්ෂණ කුටිය මගින් වෛද්‍යවරයෙකුට වෛරස් ආසාදිත බවට සැක කෙරෙන අදාළ පුද්ගලයා සමග සමීපව සම්බන්ධ නොවී ඔහුගේ සෙම සාම්පල ලබා ගැනීමේ අවස්ථාව පවතී.

මීට පෙර අවස්ථා කිහිපයකදීම එවැනි රෝගියෙකු ගැන තිබූ නොදැනුවත්කම නිසාම කිසිදු ආරක්ෂිත ක්‍රමවේදයකින් තොරව මෙවැනි පරීක්ෂාවන් සිදු කළ වෛද්‍යවරුන් සහ රෝහල් කාර්ය මණ්ඩල කිහිපයක්ම නිරෝධායනයට ලක් කිරීමටද සිදුව තිබීම මෙවැනි වෛරස් පරීක්ෂණ කුටියක වටිනාකම වැඩිවශයෙන් දැනුණු බව වෛද්‍ය අංශ පවසයි.  

ඒ අනුව නිර්මාණය කෙරුණු පළමු වෛරස් පරීක්ෂණ කුටිය පසුගියදා රත්නපුර රෝහල වෙත පරිත්‍යාග කිරීමට කටයුතු යොදා තිබේ.

හෝමාගම සමන් ඇඩ්වටයිසිං සහ ඇලුමිනියම් ආයතන සමන් බණ්ඩාර මහතාගේ මූලිකත්වයෙන් කර ඇති මෙම නිෂ්පාදනය සඳහා චාමර ජයශාන්ත සහ ජයන්ත ප්‍රේමදාස යන මහත්වරුන්ගේ සහායද ලැබී ඇත. මේ සඳහා අවශ්‍ය මූල්‍ය දායකත්වය මෙරට සුප්‍රසිද්ධ Wapp (Waterproofing Paint) ආලේපන නිපදවන Latex Lanka International (pvt) Ltd. ආයතනයේ සජීව විජය ශ්‍රී නවරත්න මහතාගෙන් ලැබුණු බවත් පැවසෙයි.

දැනටමත් මාතලේ, මහනුවර, මොනරාගල, හලාවත සහ මිගමුව රෝහල්වලින්ද මෙවැනි වෛරස් පරීක්ෂණ කුටි සඳහා ඇණවුම් ලැබී ඇති බවත් පැවසෙයි. මෙවැනි පරීක්ෂණ කුටියක් තමන්ගේ වියදමින් රෝහල් වෙත පරිත්‍යාග කරන්නට ඉදිරිපත් වන අයට අවම පිරිවැයකින් එය ඉටු කරදීමටද මෙම කණ්ඩායම ඉදිරිපත්ව සිටින බවත් සඳහන් කර සිටියි.

Visits: 29