පොළිය වැඩි නොවුණත් ණය ගෙවීම ජනතාවට අභියෝගයක් වේවි – හැටන් නැෂනල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ ජොනතන් අලස්

පොළිය වැඩි නොවුණත් ණය ගෙවීම ජනතාවට අභියෝගයක් වේවි – හැටන් නැෂනල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ ජොනතන් අලස්

රටෙහි පවතින වාතාවරණය අනුව ණය පොළිය ඉහළ යාමේ අවස්ථාවක් නොතිබුණත්, දැනට ඇති පොළී අනුපාත යටතේ වුවද ඉදිරියේදී ණය ආපසු ගෙවීම ජනතාවට අභියෝගයක් වෙනු ඇතැයි හැටන් නැෂනල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ, ප්‍රධාන විධායක නිලධාරී ජොනතන් අලස් මහතා පවසයි.

විජය පුවත්පත් සමාගමේ DailyFT පුවත්පත සහ කොළඹ විශ්වවිද්‍යාලයේ MBA උපාධිධාරීන්ගේ සංගමය එක්ව පසුගිය අප්‍රේල් 09 වැනිදා පස්වරුවේදී සංවිධානය කරන ලද ‘Economics of COVID-19’ නම් අන්තර්ජාල සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා මේ අදහස් පළ කළේය.

විශේෂයෙන්ම COVID-19 වසංගතයත් සමග වර්තමානයේ ජනතාව අතර පවතින අස්ථාවරත්වය නිසා පෙරට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් තමන්ගේ අතෙහි රඳවා තබා ගැනීමට ඔවුන්උ නන්දු වන බවක්ද තමන්ට පෙනෙන්නට ඇතැයිද ජොනතන් අලස් මහතා මෙහිදී සඳහන් කර තිබේ. පවතින ඇඳිරි නීතිමය තත්ත්වය නිසා මුදල් ලබා ගැනීම වෙනුවෙන් බැංකු වෙත හෝ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර වෙත හෝ යාම අසීරුවීම ඊට හේතුව බව  ඔහු පෙන්වා දෙයි.

“ජනතාව හදිසි අවස්ථාවකදී තමන්ට තමන්ට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා දේ රැස් කිරීමට පටන් අරගෙන තියෙන බවක් පෙනෙනවා. එය යම් අවිනිශ්චිත අවස්ථාවකදී පවතින අවශ්‍යතාවන්ට වඩා එහා ගිය මිලදී ගැනීමක් විදියට හඳුන්වන්න පුළුවන්. මේ අතරම, ජනතාව විසින් නොපියවූ තවත් ණය විශාල ප්‍රමාණයක්ද තවමත් තියෙනවා.” ඔහු සඳහන් කරයි.

දැනට පවතින තත්ත්වය හමුවේ බැංකු ක්ෂේත්‍රය යම් අර්බුදයට ලක්ව තිබුණත්, පොළී අනුපාතික ඉහළ යාමක් තමන් බලාපොරොත්තු නොවන බව අලස් මහතාගේ අදහස වී තිබේ. “වෙලාවේ හැටියට පොළී අනුපාත ඉහළ යාවි කියලා මම හිතන්නේ නැහැ. මොකද දැනට තියෙන පොලී අනුපාත යටතේ වුණත් ජනතාවට ලබා ගත්ත ණය ගෙවීම අභියෝගයක්. ඒ නිසා මම කල්පනා කරන්නේ මේ පොලී අනුපාත ඒ මට්ටමේම පවතීවි කියලයි.” ජොනතන් අලස් මහතා මෙහිදී වැඩිදුරටත් පවසා ඇත.

Visits: 201