2020 මාර්තුවේ සංචාරක පැමිණීම් 71,370යි

2020 මාර්තුවේ සංචාරක පැමිණීම් 71,370යි

මේ වසරේ මාර්තු මාසයේදී මෙරටට පැමිණි විදෙස් සංචාරකයන් සංඛ්‍යාව 71,370ක් පමණක් වූ බව සංචාරක සංවර්ධන අධිකාරියේ ප්‍රකාශකයෙකු ‘ඉකොනොමි ඇන්ඩ් බිස්නස් ශ්‍රී ලංකා’ පවසා සිටියේය.

ඒ අනුව මෙය 2019 වසරේ මාර්තු මාසයේදී මෙරටට පැමිණි 244,328ක් පමණ වූ සංචාරකයන් ප්‍රමාණයට සාපේක්ෂව මෙය 70.8%ක පහත වැටීමක් බව පැවසෙයි.

ලොව පුරා ව්‍යාප්තවෙමින් පවතින COVID-19 වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවද ඇතුළුව ලොව පුරා රටවල් පනවා ඇති සංචාරක තහනම් මෙන්ම ගුවන් සේවා සමාගම් සිය යානා ගොඩබස්සවා තැබීම් මෙලෙස සංචාරක පැමිණීම් අඩුවීමට හේතුවක් වී තිබේ.

මෙම සංචාරකයන් සංඛ්‍යාවත් සමගම පසුගිය මාර්තු 31 වැනිදා වනවිට මෙරටට පැමිණ සිටි සමස්ත සංචාරකයන් සංඛ්‍යාව 507,311 කි. එහෙත් 2019 වසරේ මුල් මාස තුනේදී එම පැමිණීම් 740,600ක් විය.

මෙහිදී 2020 ජනවාරි මාසයේදී පැමිණි සංඛ්‍යාව 228,434 කි. පෙබරවාරි මාසයේදී එය 207,507 කි. කෙසේ වෙතත් මෙම සංචාරක පැමිණීම් 2019 වසරේදී එම මාස දෙකේදී වාර්තා වුණු 244,239ක් සහ 252,033ක් වූ සංචාරක පැමිණීම් හා සාපේක්ෂව පිළිවෙලින් 6.5%කින් සහ 17.7%කින් අවප්‍රමාණය වීමකි.

කෙසේ වෙතත් පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී එල්ල වූ පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව කඩා වැටුණු මෙරට සංචාරක කර්මාන්තය යළිත් නැගීසිටීමක් පෙන්නුම් කළ අවස්ථාවේදී ඇති වූ මෙම කඩා වැටීම වසර පුරාම පවතිනු ඇතැයි යන්න අදහස වී තිබේ.

මේ අතර, පසුගිය මාසයේදී මෙරටට පැමිණි සංචාරකයන්ගෙන් පිරිසක් තවමත් මෙරට රැඳී සිටින අතර අප්‍රේල් 09 වැනිදා වනවිට එම සංඛ්‍යාව 12,972ක් බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. මොවුන් සඳහා ලබා දී ඇති වීසා බලපත්‍ර ලබන මැයි 12 වැනිදා දක්වා දිගු කිරීමට රජය දැනටමත් කටයුතු යොදා තිබේ.

Visits: 27