යුරෝපා සංගමයත් ශ්‍රී ලංකාවට යූරෝ මිලියන 22 ක් ලබා දෙයි

යුරෝපා සංගමයත් ශ්‍රී ලංකාවට යූරෝ මිලියන 22 ක් ලබා දෙයි

ලොව පුරා ව්‍යාප්ත වන කොරෝනා වෛරසයෙන් ජනතාවට එල්ල වන බලපෑම් නැති කිරීම සඳහා යුරෝපා සංගමය සහ එහි සාමාජික රාජ්‍යයන් එකට එක්ව ගෙන යන වැඩපිළිවෙල යටතේ ශ්‍රී ලංකාව වෙත යූරෝ මිලියන 22 ක ප්‍රදානයක් ලබා දීමට පියවර ගන්නා බව එම සංගමය නිවේදනයක් මගින් පවසයි.

එහි ‘ටීම් යුරෝප්’ වැඩසටහන යටතේ මෙම ප්‍රදානය ලබා දීමට නියමිතව තිබේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව මෙම වසංගත තත්ත්වය පාලනය සඳහා ගෙන යන උත්සාහයට තවදුරටත් සහායවීමක් ලෙස මෙම ප්‍රදානය සිදු කර තිබේ. එහිදී සෞඛ්‍ය, කෘෂිකාර්මික සහ සංචාරක ක්ෂේත්‍ර ඉලක්ක කරගනිමින් යුරෝපා සංගමය මෙම මුදල් ප්‍රදානය සිදු කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව යූරෝ මිලියන 2ක මුදලක් වෛද්‍ය සැපයුම් සහ උපාංග වෙනුවෙන්ද, යුරෝ මිලියන 16.5ක මුදලක් කෘෂිකාර්මික ක්ෂේත්‍රය වෙනුවෙන්ද ලබා දීමට කටයුතු යෙදී ඇත. මෙම අවස්ථාවේදී විනිවිදපෙනෙන වෙළෙඳාමක් සහ මනා ආරක්ෂිත සැපයුම් දාමයක් පවත්වාගෙන යාමත්, විශේෂයෙන්ම ජනගහනයේ යහ පැවැත්ම වෙනුවෙන් කෘෂිකාර්මික සහ සෞඛ්‍ය සේවා දාමය නිසි ලෙස පවත්වා ගෙන යාමත් අත්‍යවශ්‍ය බව යුරෝපා සංගමය පවසයි.

එසේම මෙම අරමුදල් මගින් COVID-19 හි බලපෑමෙන් හානියට පත්වන ග්‍රාමීය ප්‍රදේශ මෙන්ම ඌව සහ මධ්‍යම පළාතේ පවත්වාගෙන යන කුඩා ව්‍යාපාර ඒවායේ සේවකයන්ට සහාය ලබාදීමක් සිදුවිය යුතු බවත් එම සංගමය සඳහන් කර සිටියි.

මේ අතර, තවත් යූරෝ මිලියන 3.5ක මුදලක් සංචාරක කර්මාන්තය වෙනුවෙන්ද ප්‍රදානය කෙරී තිබේ. එහිදී සංචාරක ක්ෂේත්‍රයේ නිරත කුඩා ප්‍රමාණයේ ව්‍යාපාරිකයන් සහ ඔවුන්ගේ සේවකයන් වෙනුවෙන් මෙම මුදල් යෙදවිය යුතු බව මෙම නිවේදනයේ සඳහන් වෙයි. ඒ අතරින් ඇතැම් සහායන්  ඉතා ඉක්මණින්මද  ඉතිරිය පසුව ක්‍රම ක්‍රමයෙන් ලබා දෙන ආකාරයෙන්ද ක්‍රියාත්මක විය යුතු බව යුරෝපා සංගමය සඳහන් කරයි.

ඊයේ දිනයේදී යුරෝපා සංගමයේ නියෝජිතයන්, ශ්‍රී ලංකාවේ ප්‍රංශ, ජර්මානු,  ඉතාලි සහ නෙදර්ලන්ත සහ රොමේනියානු තානාපතිවරුන් සහ අත්‍යවශ්‍ය සේවා පිළිබඳ කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාවේදී මෙම ප්‍රදානයට අදාළ කරුණු පිළිබඳව සාකච්ඡා පවත්වා තිබේ.

එසේම දැනට මෙරට රැඳී සිටින යුරෝපා පුරවැසියන්ගේ සහ සංචාරකයන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම සුරක්ෂිත කිරීම සඳහා ලබා දිය හැකි සමීප සහයෝගිතාව පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණු බව පැවසෙයි.

යුරෝපා සංගමය සහ එහි සාමාජික රටවල් සෙසු හවුල්කරුවන් සමගද එක්ව සිදු කරන මෙම මුදල් ප්‍රදානය යටතේ ප්‍රදානය කෙරෙන සමස්ත මුදල යුරෝ බිලියන 20 කි. මේ අරමුදල් හරහා නව කොරෝනා වසංගතය පාලනය කිරිමත්, එහිදී පැනනගින ඍණාත්මක බලපෑම් අවම කිරීමත්, වසංගතයට කල් තබා සූදානම්වීමත්, ක්ෂණික ප්‍රතිචාර දැක්වීමත් මෙන්ම වසංගතයට එරෙහිව සිදු කරන වෛද්‍ය පර්යේෂණ සඳහා සහාය දක්වමින් කෝවිඩ් 19 සඳහා සුදුසු ඖෂධයක් නිපදවා ගැනීමත් මෙම අරමුදල් ලබා දීමේ මුල් තැනක් ගනී.

Visits: 40