විදේශ සංචිත රැකගැනීමට මහ බැංකුවෙන් තවත් ක්‍රියාමාර්ග

විදේශ සංචිත රැකගැනීමට මහ බැංකුවෙන් තවත් ක්‍රියාමාර්ග

රට තුළ පවතින විදේශ මුදල් සංචිත මට්ටම ආරක්ෂා කරගනිමින්, විදේශ විනිමය අනුපාතය මත දැනට පවතින පීඩනය අවම කිරීමේ අරමුණින් මෙන්ම COV ID-19 වසංගතය නිසා රටෙහි ආර්ථිකයට ඇති විය හැකි අයහපත් බලපෑම සලකා බලා, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය නිර්දේශ කිහිපයක්  ඉදිරිපත් කරන බව පවසයි.

එහිදී මෙම ක්‍රියාමාර්ග සඳහා කැබිනට් මණ්ඩල අනුමැතියද හිමිව ඇති බවත්, මුදල් – ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා විසින් මෙම ක්‍රියාමාර්ග ක්‍රියාවට නැංවීමට කටයුතු යොදා ඇති බවත් මහ බැංකුව නිවේදනයක් මගින් සඳහන් කරයි.

ඒ අනුව, දැනටමත් ප්‍රකාශ කර ඇති පරිද්දෙන් ප්‍රාග්ධන ගනුදෙනු සඳහා ශ්‍රී ලංකාවෙන් බැහැරට අරමුදල් ප්‍රේෂණය කිරීම සම්බන්ධයෙන් මාස තුනක කාලසීමාවක තහනමක් පැනවීම සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග පනවමින් නියෝග නිකුත් කිරීමක් සිදුව ඇතැයි ශ්‍රී ලංකාව මහ බැංකුව පවසයි.

කෙසේ වෙතත් මෙම සීමා කිරීම් හඳුනාගත් ප්‍රාග්ධන ගනුදෙනු සඳහා පමණක් අදාළ වන බවත්, දැනටමත් අවසරය ලබා දී ඇති ජංගම ගනුදෙනු සඳහා එය අදාළ නොවන බවත් මහ බැංකුව අවධාරණය කරයි.

පළමු කරුණ ලෙස – විදේශ විනිමය පනතේ ප්‍රතිපාදන යටතේ, ආයෝජකයෙකු විසින් ශ්‍රී ලංකාවෙන් බැහැර නේවාසික පුද්ගලයෙකුගෙන් විදේශ ව්‍යවහාර මුදල් මගින් ලබා ගත් ණය මුදලක් මගී ආයෝජනය මූල්‍යනය කිරීම සහ ආයෝජන සිදු කිරීමට නියමිත රටෙහි නියාමන අවශ්‍යතාවක් සපුරාලීම සඳහා සිදු කරන ආයෝජන යන ආයෝජන හැර, ශ්‍රී ලංකාව තුළ නේවාසික පුද්ගලයන් විසින් විදේශ රටක ආයෝජන සිදු කිරීම් අත්හිටුවා තිබේ. එහිදී ප්‍රතිමුඛ ආයෝජන ගිණුම්  හරහා ශ්‍රී ලංකාවෙන් බැහැරට අරමුදල් ප්‍රේෂණය කිරීම සඳහා මෙතෙක් ලබාදී තිබූ පොදු අවසරය අත්හිටුවීමට ලක්ව තිබේ.

ඒ අනුව පොදු අවසරයෙහි නිශ්චිතව දක්වා ඇති සීමාවන් ඉක්මවා යන ආයෝජන සඳහා, එක් එක් ආයෝජන මත පදනම්ව විශේෂ අවසරය ලබා දීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය සතුව පවතින අධිකාරිය, ඉහත සඳහන් ආයෝජකයෙකු විසින් ශ්‍රී ලංකාවෙන් බැහැර නේවාසික පුද්ගලයෙකුගෙන් විදේශ ව්‍යවහාර මුදල් මගින් ලබා ගත් ණය මුදලක් මගී ආයෝජනය මූල්‍යනය කිරීම සහ ආයෝජන සිදු කිරීමට නියමිත රටෙහි නියාමන අවශ්‍යතාවක් සපුරාලීම සඳහා සිදු කරන ආයෝජන යන ආයෝජන සඳහා පමණක් සීමා වී තිබේ.

දෙවැනි කරුණ ලෙස – ශ්‍රී ලංකාව තුළ නේවාසික පුද්ගලයන් විසින් පවත්වාගෙන යනු ලබන ව්‍යාපාරික විදේශ විනිමය ගිණුම් (Business Foreign Currency Accounts) හා පුද්ගලික විදේශ විනිමය ගිණුම් (Personal Foreign Currency Accounts) හරහා ජංගම ගනුදෙනු සඳහා හැර අනෙක් අරමුණු සඳහා ශ්‍රී ලංකාවෙන් බැහැරට අරමුදල් ප්‍රේෂණය අත්හිටුවා තිබේ.

තෙවැනි අවස්ථාව  යටතේ – දැනටමත් සංක්‍රමණික දීමනාවට හිමිකම් පා ඇති විගාමිකයන් විසින් ප්‍රාග්ධන ගනුදෙනු රුපියල් ගිණුම් හරහා සංක්‍රමණික දීමනාව යටතේ අරමුදල් විදේශ රටකට යැවීමද අත්හිටුවා තිබේ.

සිව්වැනි අවස්ථාව ලෙස සංක්‍රමණික දීමනාව සඳහා පළමුවරට හිමිකම් පාන විගාමිකයන් සුදුසුකම් ලබන සංක්‍රමණික දීමනාව එක්සත් ජනපද ඩොලර් 30,000ක උපරිමය දක්වා සීමා වී තිබේ.

Visits: 65