ඇට්ලස් සමාගමෙන් ඉරණවිල COVID-19 රෝහලටත් රොබෝවක්

ඇට්ලස් සමාගමෙන් ඉරණවිල COVID-19 රෝහලටත් රොබෝවක්

COVID-19 රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීම සඳහා ඉරණවිලදී විවෘත කෙරුණු රෝහල සඳහාද ස්වංයක්‍රීය නියමු රොබෝ යන්ත්‍රයක් (AGV) පරිත්‍යාග කිරීමට ඇට්ලස් ඇක්සිලියා සමාගම කටයුතු කළ බව පවසයි. සම්පූර්ණයෙන්ම දේශීය නිෂ්පාදනයක් වන මෙම රොබෝ යන්ත්‍රය ඊයේ නිල වශයෙන් එම රෝහල වෙත භාරදීම සිදු ව තිබේ.

මෙම අවස්ථාවට සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සහ COVID-19 වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වී තිබේ.

හේමාස් සමූහ ව්‍යාපාරයට අයත් අනුබද්ධිත සමාගමක් වන ඇට්ලස් ඇක්සිලියා මෙවැනි රොබෝ යන්ත්‍ර ප්‍රදානයක් සිදුකළ දෙවැනි අවස්ථාවද මෙය වෙයි. මීට පෙර හෝමාගම රෝහලේ COVID-19 රෝගී ප්‍රතිකාර ඒකකය වෙතද මෙවැනි රොබෝ යන්ත්‍රයක් ලබා දීමට සමාගම කටයුතු යොදා තිබුණි.

රෝගීන්ට අවශ්‍ය ආහාර සහ ඖෂධ රැගෙන යාමේ හැකියාව මෙම රොබෝ යන්ත්‍රය සතු වෙයි. එහි සවිකර ඇති කැමරා පද්ධතිය හරහා රෝගීන් සමග සංවාදයේ යෙදෙමින් දුරස්ථව ඔවුන් පරීක්ෂා කිරීමේ හැකියාවද වෛද්‍යවරුන්ට හිමිවන බව පැවසෙයි. ඒ අනුව සෞඛ්‍ය අංශයේ විශේෂඥයන්ට සිය සෞඛ්‍ය රැක ගන්නා අතරම වෛරසයට එරෙහි සටනට දායකත්වය ලබා දීමට මෙම රොබෝ යන්ත්‍රය උපකාරී වන බවද ඇට්ලස් ඇක්සිලියා සමාගම පවසයි.

එම සමාගමේ ඉංජිනේරු තාක්ෂණ කණ්ඩායම මගින් මෙම රොබෝ යන්ත්‍රය නිපදවා තිබේ. ඒ අනුව වසර 60කට අධික කාලයක පටන් මෙරට ජාතික වගකීමක් ඉටු කරන සමාගමක් ලෙස, මෙරට මුහුණ දී සිටින දැවැන්තම සෞඛ්‍ය අභියෝගය ජයගැනීම සඳහා දායකත්වය ලබා දීමට හැකි වීම  භාග්‍යයක් ලෙස සලකන බව සමාගමේ නියෝජිතයෙකු සඳහන් කරයි.

ඉරණවිල ප්‍රදේශයේ පිහිටි සුප්‍රසිද්ධ වොයිස් ඔෆ් ඇමෙරිකා ආයතනය වෙත අයත්ව තිබූ ගොඩනැගිල්ලක් මෙලෙස සති දෙකක් වැනි කාලයකදී රෝහල් මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට හැකියාව ලැබී ඇත. ඒ සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව සිය දායකත්වය ලබා දී ඇත. ඒ අනුව අද වනවිට මෙය පූර්ණ පහසුකම්වලින් සමන්විත විශේෂඥ මධ්‍යස්ථානයක් බවට පත්ව තිබේ. මෙම රෝහල් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා ලෙස වෛද්‍ය දිමුත් පොන්වීර මහතා පත් කර තිබේ. අවශ්‍යතාව අනුව මෙම පරිශ්‍රයේ පහසුකම් තවත් පුළුල් කිරීමටද සැලසුම් කෙරී තිබේ.

Visits: 43