ශ්‍රී ලංකාවේ ඉදිරි ආහාර සුරක්ෂිතතාව ගැන සාකච්ඡාවක්

ශ්‍රී ලංකාවේ ඉදිරි ආහාර සුරක්ෂිතතාව ගැන සාකච්ඡාවක්

COVID-19 වසංගත තත්ත්වයත් සමගම රට තුළ උද්ගත වන ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ගැටලුවට විසඳුම් සෙවීමේ සාකච්ඡාවක් අද පෙරවරුවේදී ලෝක ආහාර වැඩසටහනේ ශ්‍රී ලංකා කාර්යාලයේ මැදිහත්වීමෙන් පැවැත්වී තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලයේ මූලිකත්වයෙන් පැවැත්වුණු මෙම වැඩසටහන සඳහා රජය නියෝජනය කරමින් නියෝජිතයන් කිහිප දෙනෙකුද සහභාගි වී ඇත. ඒ අනුව COVID-19 වසංගතය අවස්ථාව සඳහා පිහිටුවා ඇති අත්‍යවශ්‍ය සේවා සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ නිලධාරීන් දෙදෙනෙකු, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ දිළිදුකම තුරන් කිරීම සඳහා පිහිටුවා ඇති ජනාධිපති කොමිසමේ නියෝජිතයෙකු මෙම සාකච්ඡාව සඳහා සහභාගි වී ඇත.

මෙම සාකච්ඡාව යටතේ COVID-19 වසංගතය හේතුවෙන් ඉදිරියේදී ආහාර සුරක්ෂිතතාව යන අංශය තුළ සිදුවිය හැකි කරුණු පිළිබඳව සහ ඒවාට මුහුණ දීම සඳහා සූදානම් විය යුතු ආකාරය කෙසේද යන්න පිළිබඳව සාකච්ඡා පැවැත්වූ බව ඊට සම්බන්ධ වූ නියෝජිතයෙකු පවසා සිටියේය.

“මේ මාසේ වෙන්න පුළුවන්, ලබන මාසේ වෙන්න පුළුවන් තවත් මාස තුනකින් වෙන්න පුළුවන් රට මුහුණ දෙන මේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ වන ගැටලුවට කොහොමද සූදානම් වෙන්නේ කියන දේ තමයි මෙතැනදී සාකච්ඡා කළේ.”

විශේෂයෙන්ම රජය මේ මොහොතේදී COVID-19 වසංගතය නිසා පවතින ගැටලුවලට පිළිතුරු සෙවීම සඳහා කටයුතු කරමින් සිටිද්දීම, මින් දිගුකාලීනව ඇතිවන ගැටලුත් පවතින බව එම නියෝජිතයා පවසයි. ඒ අනුව කෘෂිකාර්මික නිෂ්පාදන, බෙදාහැරීම යන කරුණු සම්බන්ධයෙන් ඇති විය හැකි ගැටලු පිළිබඳව සාකච්ඡා කෙරී ඇත.

“මෙතැනදී අත්‍යවශ්‍ය සේවා සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය තවදුරටත් සැලකීමට ගත යුතු කාරණා මොනවාද කියන දේත් අපි සාකච්ඡා කළා. මෙය මූලිකවම රජය ගෙන යන වැඩපිළිවෙලට ලබා දෙන සහයෝගයක් ලෙස තමයි පැවැත්වුණේ.”

මේ අතර, රජය ක්‍රියාත්මක කර ඇති ගෙවතු වගා දස ලක්ෂයක් බිහි කිරීමේ ‘සෞභාග්‍යා ගෙවත්ත’ ව්‍යාපෘතිය තවදුරටත් විධිමත් කරමින් පවත්වාගෙන යන ආකාරය සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරී ඇත. එසේම එම කටයුතු සාර්ථක කරගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ලෝක ආහාර වැඩසටහනද සිය උපරිම දායකත්වය ලබාදීමට තීරණය කර තිබේ.

Visits: 24