Twitter නිර්මාතෘගෙන් ගෝලීය කොරෝනා අරමුදලට ඩොලර් බිලියනයක්

Twitter නිර්මාතෘගෙන් ගෝලීය කොරෝනා අරමුදලට ඩොලර් බිලියනයක්

ලොව සුප්‍රසිද්ධ සමාජ මාධ්‍ය ජාලයක් වන Twitter සමාගමේ නිර්මාතෘවරයා මෙන්ම එහි ප්‍රධාන විධායක නිලධාරියා වන ජැක් ඩොර්සේ විසින් ගෝලීය කොරෝනා වෛරස සහන අරමුදල වෙනුවෙන් එක්සත් ජනපද ඩොලර් බිලියනයක ප්‍රදානයක් ලබාදීමට පොරොන්දු වී ඇතැයි වාර්තා වෙයි.

මේ පිළිබඳව සිය ට්විටර් ගිණුම හරහා පණිවුඩ රැසක් තබා ඇති ජැක් ඩෝර්සේ මෙම මුදල්වල අවශ්‍යතාව ඉතාමත් දැඩිව පවතින අවස්ථාවක් බව පවසා ඇත. එසේම ජීවිතය ඉතාමත් කෙටි බවත්, තමන්ගේ මෙම ක්‍රියාව අනෙක් අයත් ආදර්ශයක් බවට පත් කරගෙන, ඔවුන්ද මෙවැනිම පියවර ගනු ඇති බවත් ඔහු පවසා ඇත. ඒ අනුව මිනිසුන් බේරා ගැනීම සඳහා මේ මොහොතේදී කළ හැකි සියල්ලම සිදු කිරීමට ඉදිරිපත්වීම වැදගත් බව ඔහු පවසා ඇත.

විශේෂයෙන්ම මෙම වසංගත තත්ත්වය තුරන් කිරීමෙන් අනතුරුව සිදු කෙරෙන වැඩසටහන්වලදී ගැහැණු දරුවන්ගේ සෞඛ්‍ය සහ අධ්‍යාපනය වෙනුවෙන් මෙන්ම ජනතාවගේ මූලික ආදායම් සුරක්ෂිත කිරීම උදෙසා මෙම මුදල්යොමු වෙනු ඇතැයිද ඔහු පවසයි. එහිදී මෙම මුදල් වඩාත් විනිවිදභාවයකින් ක්‍රියාත්මක වන බවත් ඔහු සඳහන් කර තිබේ. 

කෙසේ වෙතත් ඔහු මෙම ඩොලර් බිලියනයක ප්‍රදානය සිය Twitter Inc සමාගමේ වත්කම්වලින් නොව තමන්ට අයත් මූල්‍ය සේවා සපයන, ජංගම දුරකතන ගෙවීම් සිදුකරන සමාගමක් වන Square Inc සමාගම සතු කොටස් වත්කමින් ලබාදීමත් විශේෂත්වයකි.

මේ පිළිබඳවද ඩොර්සේ සිය ට්විටර් ගිණුම හරහා කරුණු දක්වා තිබේ. එසේම ප්‍රදානය කළ මෙම මුදල් සිය Twitter සහ Square යන සමාගම් දෙක වෙතම දිගුකාලීන වශයෙන් ප්‍රතිලාභ අත් කරදෙනු ඇති බවත්, මේ හරහා තමන් උදව් කරන්නේ තමන්ට සේවා සැලසීමට සිටින ජනතාවටම බවත් ඩොර්සේ මෙහිදී පවසා ඇත.

මෙම ප්‍රදානයේ වටිනාකම සිය වත්කමින් 28%ක් බවත් ඩොර්පසේ වසා සිටියි. ෆෝර්බ්ස් සඟරාවට අනුව ඔහු සතු වත්කමේ ඇස්තමේන්තුව ඩොලර් බිලියන 3.3 කි.

Visits: 43