ලොක්ඩවුන් නිසා වීඩියෝ ක්‍රීඩා ඇබ්බැහිය ඉහළ ගිහින්ලු

ලොක්ඩවුන් නිසා වීඩියෝ ක්‍රීඩා ඇබ්බැහිය ඉහළ ගිහින්ලු

COVID-19 වසංගතය හේතුවෙන් ලොක්ඩවුන් තත්ත්වයට පත් කර ඇති එක්සත් ජනපදයේ සහ යුරෝපයේ ජනතාව අතර අන්තර්ජාලය වෙත සහ වීඩියෝ ක්‍රීඩා සඳහා වන ඇබ්බැහිවීම ඉතාමත් දරුණු ලෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා වෙයි.

මේ වනවිට එක්සත් ජනපදයේ නගර රැසක් මෙන්ම යුරෝපයේ රාජ්‍යයන් කිහිපයක් සහ එහි නගර බොහෝමයක් මෙලෙස ලොක්ඩවුන් තත්ත්වයට පත් කර තිබේ. ඒ අනුව එහි වාසය කරන මිලියන ගණනක් වන ජනතාවක් මේ වනවිට නිවෙස්වලට වී නිරෝධායනයේ යෙදී සිටිති.

ඒ අතරින් වැඩි පිරිසක් මෙලෙස අන්තර්ජාලය සහ වීඩියෝ ක්‍රීඩා වෙත ඇබ්බැහිවීමක් පෙන්නුම් කර තිබෙන බව වාර්තා පවසයි. සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් පිට මෙම පිරිස නිවෙස්වලට වී සිටියත්, මෙම ඇබ්බැහිය තවත් ඉදිරි ගැටලු රැසකටම මගපාදනු ඇතැයි යන්නද බොහෝ දෙනාගේ අදහස වී තිබේ.

මෙහිදී අදාළ පිරිස් COVID-19 වසංගතය නිසා ඇති වූ ආතතිය, තනිකම මෙන්ම විරැකියාවෙන් පෙළීමත් යන කාරණා නිසා තමන්ට එල්ලවී තිබෙන පීඩනයත් සමගින්ම මෙලෙස වීඩියෝ ක්‍රීඩා වෙත ඇබ්බැහිවී තිබෙන බව හඳුනාගෙන ඇත.

මෙය යම් ආකාරයක සූදුවක් සඳහා ඇබ්බැහිවීමක් ලෙසද හැඳින්විය හැකි බව එක්සත් ජනපදයේ ක්‍රියාත්මක සූදු වෙත ඇබ්බැහිවීමේ ගැටලු සඳහා උපදේශන සේවා ලබා දෙන ජාතික මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂවරයා මාධ්‍ය වෙත පවසා ඇත.

ඔහු  පවසන ආකාරයට ආසන්න දින කිහිපයේදී පමණක් එරට පිහිටි එම උපදේශන මධ්‍යස්ථාන 27 අතරින් කිහිපයකම හදිසි දුරකතන අංකය වෙත මෙවැනි පැමිණි ලැබී ඇත. එසේම වීඩියෝ ක්‍රීඩා සඳහා ඇබ්බැහිවූ රෝගීන් මේ වනවිට මානසිකවෛද්‍යවරුන් හමුවීමේ ප්‍රවණතාවක්ද වර්ධනය වෙමින් පවතින බවත් පැවසෙයි.

Visits: 40