ඉන්දියාව විශේෂ යානයකින් ඖෂධ තොගයක් එවයි

ඉන්දියාව විශේෂ යානයකින් ඖෂධ තොගයක් එවයි

ඉන්දියාවේ සිට ඖෂධ තොගයක් රැගත් විශේෂිත ගුවන් යානයක් අද දිනයේදී කටුනායක ගුවන් ‍තොටුපොළ වෙත පැමිණි බව වාර්තා වෙයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීමකට අනුව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ මැදිහත්වීමෙන් මෙම ඖෂධ තොගය මෙරටට එවා ඇතැයි පැවසෙයි.

මෙම අත්‍යවශ්‍ය අවස්ථාවේදී ඉන්දීය රජය සහ ජනතාව විසින් ශ්‍රී ලංකා රජය සහ ජනතාව වෙත මෙම ඖෂධ තොගය එවන බව එහි සඳහන් වෙයි.

කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට අනුව ටොන් 10ක් බර මෙම ඖෂධ තොගය අතර අත්‍යවශ්‍ය ජීවිත ආරක්ෂක ඖෂධ වන බව පැවසෙයි. විශේෂයෙන්ම දැනට රට තුළ ව්‍යාප්තව පවතින COVID-19 වෛරසය හමුවේ මේවා අවශ්‍ය විය හැකි බව එම කාර්යාලය සඳහන් කරයි. ශ්‍රී ලංකා රජයේ විශේෂ ඉල්ලීම මත මෙම ඖෂධ තොගය එවූ බවත් එම කාර්යාලය පවසා සිටියි.

“මෙය ඉන්දියාව දුකේදීත් සතුටේදීත් ශ්‍රී ලංකාවත් සමගින් පවත්වන සහයෝගිතාවය එලෙසින්ම බව යළිත් වරක් විද්‍යාමාන වූ අවස්ථාවක්. COVID-19 නිසා ඉන්දියාව තුළත් මේ වනවිට අභියෝගාත්මක අවස්ථාවක් නිර්මාණය වී තිබුණත්, එහි මිතුරෙකු සහ හවුල්කරුවෙකු ලෙස මෙලෙස සම්පත් බෙදා ගැනීමට ඉන්දියාව සැමවිටම කටයුතු කරනවා.” මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

මෙම ඖෂධ තොගය මෙරටට එවීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙන්ම අගමැති මහින්ද රාජපක්ෂ මහතාද, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි වෙත සිය ට්විටර් ගිණුම් හරහා ස්තූතිය පුද කර තිබේ. එසේම මෙම අවශ්‍ය මොහොතේදී ඉන්දීය රජය සහ එහි ජනතාව ලබාදුන් කාරුණික සහයෝගය තමන් අගය කරන බවත් දෙපළ පවසා ඇත.

Visits: 38