සිලෝන් ටොබැකෝහි මව් සමාගම Covid-19 එන්නතක් ගැන අත්හදා බැලීමක

සිලෝන් ටොබැකෝහි මව් සමාගම Covid-19 එන්නතක් ගැන අත්හදා බැලීමක

මෙරට දුම්වැටි ඒකාධිකාරය හිමි සිලෝන් ටොබැකෝ සමාගමේ (CTC–Ceylon Tobaco Company) මව් සමාගම වන බ්‍රිටිෂ් ඇමෙරිකන් ටොබැකෝ සමාගම (BTA-British American Tobacco) Covid-19 වසංගතයට එරෙහි නව එන්නතක් අත්හදා බලන බව පවසයි.

දැනටමත් එම සමාගම සිය විද්‍යාගාරය තුළදී ඊට අදාළ පර්යේෂණ සිදු කෙරෙමින් පවතින බව එම සමාගම පසුගියදා නිවේදනය කර තිබේ. මෙහිදී ඔවුන් සිය දුම්වැටි නිෂ්පාදන සඳහා භාවිත කරන දුම්කොළ ගස් ඉක්මණින් වර්ධනය කරගැනීමට යොදා ගන්නා තාක්ෂණය මෙම එන්නත සංවර්ධනය වෙනුවෙන් අත්හදා බලමින් සිටින බව වාර්තා පවසයි.

බ්‍රිටිෂ් ඇමෙරිකන් ටොබැකෝ සමාගමට අනුව දැනටමත් මෙම එන්නත ඇත්තේ පූර්ව-සායනික එනම් තවමත් රෝගීන් සඳහා භාවිත කළ නොහැකි අවස්ථාවේය. එහෙත් මෙම අද්හදා බැලීම් සාර්ථක වුවහොත් ලබන ජූනි මාසයේ පටන් සතියකට මිලියන තුනක් බැගින් මෙම එන්නත් නිපදවීමට හැකියාව ලැබෙනු ඇති බවත් ඔවුන් පවසයි.

දැනටමත් එම සමාගම එක්සත් ජාතීන්ගේ සංවිධානය සමගින් මේ පිළිබඳව සාකච්ඡා කර ඇති බවත්, ඉදිරියේදී මෙම Covid-19 වසංගතයට එරෙහිව සටන ජය ගැනීම සඳහා ලොව රාජ්‍යයන් සමගින් එක්ව කටයුතු කිරීමට සූදානමින් සිටින බවත් සඳහන් කරයි.

මෙහිදී එන්නත වෙනුවෙන් යොදා ගන්නා තාක්ෂණය පිළිබඳව හඳුන්වාදී ඇති එම සමාගම, එය වඩාත් ආරක්ෂිත බව පවසා සිටියි. විශේෂයෙන්ම මෙම තාක්ෂණය මගින් දුම්කොළ ගස් තුළ වර්ධනය බාල කරවන රෝගකාරක ජාන ඉවත් කරවන බවත්, ඒ අනුව මිනිසුන් තුළ රෝගී තත්ත්වයන් ඇති කිරීම සඳහා හේතුවන මෙවැනි ජාන එම තාක්ෂණයෙන් ඉවත් කළ හැකි බවත් ඔවුන් සඳහන් කරයි.

එසේම මෙම තාක්ෂණය වඩාත් වේගවත් බවත්, සාමාන්‍ය ක්‍රමයට වගා කෙරෙන දුම්කොළ ගසක් වර්ධනයට මාස ගණනක් ගත වෙද්දී මෙවැනි දුම්කොළ ගස් ඉතා ඉක්මණින් වර්ධනය වන බව ඔවුන් පෙන්වා දෙයි.

මීට අමතරව මෙම එන්නත කාමර උෂ්ණත්වයේදී පවා හොඳින් ආරක්ෂිතව පවතින බවත්, එය ශීතකරණයක තැන්පත් කිරීම අනිවාර්යය වී ඇති අනෙකුත් සාමාන්‍ය ප්‍රතිජීවක එන්නත් හා සසඳා බැලීමේදී වැදගත් අවස්ථාවක් බවත් සමාගම පවසයි.

එන්නත නිපදවීමේ මෙම පර්යේෂණ කටයුතු සඳහා බ්‍රිටිෂ් ඇමෙරිකන් ටොබැකෝ සමාගමේ ජෛව-තාක්ෂණික පරිපාලිත සමාගමක් කෙන්ටර්කි බයෝප්‍රොසෙසිං (KBP – Kentucky Bio Processing) සමාගමද දායකත්වය ලබා දී ඇත. එම සමාගම 2014 වසරේදී ඉබෝලා වෛරසයට එරෙහි ප්‍රතිකර්මයක් නිර්මාණය කිරීම පිළිබඳවද මීට පෙර ප්‍රසිද්ධියට පත්ව තිබුණි.

Visits: 66