2020 අපනයන ආදායම් ඉලක්කය 42% කින් කපා දැමේ

2020 අපනයන ආදායම් ඉලක්කය 42% කින් කපා දැමේ

2020 වසර සඳහා වන ශ්‍රී ලංකාවේ අපනයනය ආදායම් ඉලක්කය 42%කින් කපා දැමීමට තීරණය කළ බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි. ඒ අනුව, ඩොලර් බිලියන 18.5ක් ව පැවැති එම අපනයන ආදායම් ඉලක්කය ඩොලර් බිලියන 10.75 දක්වා ඩොලර් බිලියන 7.75 කින් කපා දමා තිබේ.

Covid-19 වසංගත තත්ත්වය නිසා ඇතිව තිබෙන ගෝලීය ආර්ථිකයේ සහ වෙළෙඳාමේ දරුණු කඩාවැටීම මෙලෙස 2020 වසර සඳහා වන සිය අපනයන ඉලක්කය කපා දැමීමට හේතු වුණු බව අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති ප්‍රභාෂ් සුභසිංහ මහතා සඳහන් කරයි.

2019 වසරේදී භාණ්ඩ හා සේවා අපනයනයෙන් ලැබූ ඩොලර් බිලියන 16.14ක ආදායමත් සමගින්ම මේ වසරේදී ඩොලර් බිලියන 18.5ක ඉලක්කයක් ඒ සඳහා ලබා දුනි. ඒ අනුව මේ වසර සඳහා ලබා දී ඇති අපනයන ඉලක්කය 2019 දී ලබා ගත් අපනයනය ආදායමට වඩා ඩොලර් බිලියන 5.39ක අඩුවීමක් ලෙසත් ගණන් බලා තිබේ.

මෙම නව 2020 අපනයන ආදායම් ඉලක්කය යටතේ ඉදිරිපත්ව ඇති ඩොලර් බිලියන 10.5න් බිලියන 7.53ක් භාණ්ඩ අපනයනයෙන්ද, බිලියන 3.21ක් සේවා අපනයනයෙන්ද ලබා ගැනීම බලාපාරොත්තුව වී ඇත. එහෙත්  පැවැති ඉලක්කය අනුව භාණ්ඩ අපනයන ආදායම ඩොලර් බිලියන 13.5ක් විය. එය 2019දී ලැබූ එම ආදායමට සාපේක්ෂව 13.4%ක වර්ධනයක් විය.

කෙසේ වෙතත් ගෝලීය වසංගත තත්ත්වය හමුවේ මෙරට තේ, රබර්, පොල් මෙන්ම කුළුබඩු, මුහුදු ආහාර සහ පළතුරු යනාදී භාණ්ඩ වෙත යම් ඉල්ලුමක් ඇති වෙනු ඇතැයිද අපනයන සංවර්ධන මණ්ඩල සභාපතිවරයා අපේක්ෂා කර සිටියි.

එහිදී විශේෂයෙන්ම රබර් නිෂ්පාදන රෝහල් තුළ භාවිතයට ගැනෙන අත්වැසුම් සඳහා වැඩි වශයෙන් යොදා ගනු ඇතැයි විශ්වාසය වී තිබේ. එසේම කෘෂි නිෂ්පාදන ක්ෂේත්‍රයේ රථ සඳහා යොදා ගන්නා ටයර් සඳහාද මෙම රබර් වැඩි වශයෙන් යෙදවෙනු ඇතැයි පැවසෙයි.

කෙසේ වෙතත් ඇගලුම්, සුරතල් මසුන්, බෝට්ටු නිෂ්පාදනය යන අපනයන ක්ෂේත්‍ර යම් පසුබැසීමක් පෙන්නුම් කරනු ඇති බව විශ්වාසය වී තිබේ. දැනටමත් අපනයන සංවර්ධන මණ්ඩලය මේ වසරේදී අඩු ඉල්ලුමක් පැවතිය හැකි බවට පුරෝකතනය කර ඇති අපනයන භාණ්ඩ හා සේවා පිළිබඳ ලැයිස්තුවක්ද සකස් කර තිබේ.

Visits: 178