COVID-19 නිසා 2020දී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 2.2% යි – ආසියානු සංවර්ධන බැංකුව

COVID-19 නිසා 2020දී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 2.2% යි – ආසියානු සංවර්ධන බැංකුව

2020 වසර සඳහා වන ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය හෙවත් දළ ජාතික නිෂ්පාදනයේ වර්ධනය 2.2%ක් දක්වා පහත වැටෙනු ඇතැයි පුරෝකතනය කෙරෙන බව ආසියානු සංවර්ධන බැංකුව පවසයි. එම බැංකුව මගින් 2020 වසර සඳහා නිකුත් කෙරුණු Asian Development Outlook (ADO) 2020 වාර්තාව තුළ මේ බව සඳහන්ව තිබේ.

COVID-19 වසංගතය හේතුවෙන් රටෙහි ආර්ථිකය වෙත එල්ල වී ඇති දරුණු බලපෑම ඊට හේතුව බව ආසියානු සංවර්ධන බැංකුව එහිදී සඳහන් කර සිටියි. එසේම 2021 වසර වන විට එම ආර්ථික වර්ධනය 3.5% තත්ත්වයට පත්වෙනු ඇතැයිද එම බැංකුව පුරෝකතනය කර තිබේ.

2019 වසරේදී මෙරට ආර්ථික වර්ධන වේගය 2.6% ක අගයක් ගත් අතර 2018 දී එය 3.2% ක අගයක් ගෙන තිබුණි.

විශේෂයෙන්ම COVID-19 වසංගතය නිසා ඇති වුණු ගෝලීය මහජන සෞඛ්‍ය අර්බුදය නිසා ආසියානු කලාපයේ මෙන්ම ඉන් පිටත පිහිටි ආර්ථිකයන්හි කටයුතු අත්හිටුවා තිබීම මෙලෙස ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය අඩු කිරීමට මූලිකවම බලපා ඇතැයි සඳහන් වෙයි.

එහෙත් එය ශ්‍රී ලංකාවට පමණක් අදාළ නොවන අතර ආසියානු කලාපයට මෙන්ම සමස්ත ලෝකයටම එය එලෙසින්ම බලපා ඇතැයි ආසියානු සංවර්ධන බැංකු පෙන්වා දෙයි.

ඒ අනුව දකුණු ආසියානු කලාපය තුළ ආර්ථික වර්ධන වේගය 2020 දී 4.1% ක අගයක් ගෙන 2021 දී එය 6.0% දක්වා මට්ටමට පත් වෙනු ඇතැයි පුරෝකතනය වී තිබේ. එසේම සංවර්ධනය වෙමින් පවතින ආසියා පැසිපික් කලාපයේ මෙම ආර්ථික වර්ධනය 2020 දී 2.2% ක් ලෙසත් 2021දී එය 6.2% ක් තත්ත්වයට පත් වෙනු ඇති බවත් පුරෝකතනය කර තිබේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව වෙත මෙම COVID-19 වසංගතය අභ්‍යන්තරව බලපානා තත්ත්වය සහ එය කොපමණ කලක් රඳා පවතීද යන කරුණු අනුව මෙරට ආර්ථික වර්ධන වේගය තවත් 1.0% ත් 1.5% ත් අගයකින් පහත වැටීමේ අවදානමක් පවතින බවත් ආසියානු සංවර්ධන බැංකුව පෙන්වා දෙයි.

එහෙත් මෙම වසංගත තත්ත්වය තවදුරටත් රට තුළ ව්‍යාප්තවීම වළක්වා ගැනීම සඳහා ක්‍රියාමාර්ග ගැනීම සහ මේ හේතුවෙන් පීඩාවට පත්ව ඇති පුද්ගලයන් සහ ව්‍යාපාර වෙත ඉක්මන් සහන සැලසීම වෙනුවෙන් අදාළ ප්‍රතිපත්තිමය තීරණ ගැනීමත් මෙම අවපාතය යම් තරමකින් අඩු කරගැනීමට අවස්ථාවක් බවත් ආසියානු සංවර්ධන බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අතර, පසුගියදා රූපවාහිනි සාකච්ඡාවකට එක් වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා මේ වසරේ පළමු කාර්තුවේදී මෙරට ආර්ථික වර්ධන වේගය ඍණ (-) අගයක් ගනු ඇතැයි විශ්වාස කරන බවත් පවසා සිටියේය.

Visits: 85