දඹුල්ලේ කෘෂි ශීතාගාරය තිබුණේ නම් අද මෙවන් ගැටලුවක් නෑ – ආචාර්ය. හර්ෂ

දඹුල්ලේ කෘෂි ශීතාගාරය තිබුණේ නම් අද මෙවන් ගැටලුවක් නෑ – ආචාර්ය. හර්ෂ

පැවැති රජය සමයේදී ඉදි කිරීම් ඇරඹූ දඹුල්ල කෘෂි ශීතාගාරය නිසි කලට ඉදිකිරීම් නිම කර තිබුණේ නම්, කොරෝනා අර්බුදය හමුවේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙත ලැබෙන ආහාර ගබඩා කිරීමේ ගැටලුවක් මතු නොවන බව හිටපු අමාත්‍යවරයෙකු වන හර්ෂද සිල්වා මහතා පවසයි.

සිය ට්විටර්, සහ ෆේස්බුක් ගිණුම් හරහා ඒ මහතා මේ අදහස් පළ කර තිබේ. ඉන්දීය රජයේ මුදල් ආධාර යටතේ ඉදිකිරීමට සැලසුම් කර තිබූ මෙම කෘෂි ශීතාගාරය “ප්‍රභාෂ්වර” ලෙස නම්ව තිබුණි. මෙය උෂ්ණත්වය සහ තෙතමනය පාලිත මෙරට පළමු කෘෂි ශීතාගාර සංකීර්ණයද විය.

එහෙත් වත්මන් රජය පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී බලයට පත්වීමෙන් අනතුරුව මෙම ව්‍යාපෘතිය ඉදිකිරීම් නවත්වා දමා ඇතැයි ඔහු චෝදනා කරයි.  

2019.04.10 වැනිදා ආරම්භ වුණු මෙම ව්‍යාපෘතිය 2019.10.10. වැනිදා නිම කිරීම සැලසුම වී තිබුණි. ඒ සඳහා ඇස්තමේන්තු කර තිබූ සම්පූර්ණ මුදල රුපියල් මිලියන 525 කි. ඒ අනුව මෙම ව්‍යාපෘතිය හැකි ඉක්මණින්ම ඉදිකර අවසන් කරන ලෙසද හිටපු අමාත්‍යවරයා වත්මන් රජයට යෝජනා කර සිටියි.

“කොරෝනා වසංගතය හමුවේ මුළු ලෝකයම ගත කරමින් සිටින්නේ අඳුරු කාල පරිච්ඡේදයකි. අනාගතයේදී ශ්‍රී ලංකාව මෙන්ම ලෝකයද දරුණු ආහාර අර්බුදයකට මුහුණ පානු ඇත. අප විසින් ආරම්භ කළ ශීතාගාර ව්‍යාපෘතිය හෙවත් ‘ප්‍රභාෂ්වර’ වැඩසටහන නියමිත කාලයේදී වැඩ අවසන් කර තිබුණා නම්, මේ වනවිට දඹුල්ලේ අතිරික්ත එළවලු සහ පලතුරු එහි ගබඩා කර අවශ්‍ය පරිදි රට පුරා බෙදාහරින්නට හැකියාව තිබුණි. නමුත්, එවැනි දෙයක් සිදුවූයේ නැත. අපගේ ආණ්ඩුව පරාජය වූ පසුව අප විසින් දඹුල්ලේ ආරම්භ කළ උෂ්ණත්වය සහ තෙතමනය පාලිත මෙරට පළමු කෘෂි ශීතාගාර සංකීර්ණයේ ඉදිකිරීම්ද අතරමග නතර විය.”

මෙම ශීතාගාර සංකීර්ණය ඉදිකිරීම සඳහා ඉන්දියාව විසින් රුපියල් මිලියන 300 ක යළි නොගෙවන ප්‍රදානයක් ලබාදුන් අතර පැවති රජය යටතේ තමන් අමාත්‍ය ධූරය දැරූ අමාත්‍යාංශයේ ආහාර දෙපාර්තමේන්තුව හරහා ඉදිකිරීම් සඳහා රජය රුපියල් මිලියන 225 ක් වෙන්කර තිබී ඇත.

“මේ වනවිට, දඹුල්ලට එකතුවන එළවලු සහ පළතුරු හැකි පරිදි බෙදාහැර ඉතිරි වන සියල්ල විසිකර දැමීමට සිදු වෙයි. මෙය අද පමණක් නොවන එදාත් සිදුවිය. නමුත්, ආහාර අර්බුදයක් හමුවේ සිටින මෙවැනි අවස්ථාවක මෙම ගැටලුව වඩාත් උග්‍රවනු ඇත. දුර්වල ගබඩා කිරීම සහ ප්‍රවාහනය හේතුවෙන් ශ්‍රී ලංකාවේ කෘෂි අස්වැන්නෙන් 40%ක් පමණ අපතේ යයි. මෙම ගැටලුවෙන් අපගේ කෘෂි කර්මාන්තය ගලවාගෙන වැඩි අස්වැන්න ගබඩා කිරීම සඳහා අපගේ රජය විසින් මෙරට කෘෂි ශීතාගාර ජාලයක් සැලසුම් කළ අතර එයින් පළමුවැන්න දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට යාබද ඉඩමේ ඉදිකිරීම මාගේ නායකත්වයෙන් 2019 අප්‍රේල් 01 වනදා ආරම්භ කෙරුණි.”

අක්කර 3.5 ක් වන මෙම ඉඩම රජයට අයත් ඉඩමකි. මෙම කෘෂි ශීතාගාර සංකීර්ණය උෂ්ණත්වය සහ තෙතමනය පාලිත මෙරට පළමු කෘෂි ශීතාගාර සංකීර්ණය වන අතර, මෙහි මෙට්‍රික් ටොන් 5,000 ක එළවලු සහ පලතුරු ගබඩා කිරීමේ හැකියාව තිබේ. එය නොයෙක් එළවලු සහ පළතුරුවලට අවශ්‍ය පරිදි විවිධ උෂ්ණත්ව සහ තෙතමනය සහිත කොටස් හයකින් යුක්තව සැලසුම් කර තිබේ.

“මෙම ව්‍යාපෘතිය අන් කවරදාකටත් වඩා වර්තමානයට අවශ්‍ය ව්‍යාපෘතියක් බවට පත්වී ඇත. මෙය නිසි කලට අවසන් කළා නම් අද දඹුල්ලේ ගොවීන්ගේ කෘෂි අස්වැන්න එහි ගබඩා කර ක්‍රමානුකූලව ඒවා රට පුරා බෙදා හැරීමට හැකියාව තිබුණි. නමුත්, අප අවසන් කළ තැනින් දශමයක් හෝ මෙම ව්‍යාපෘතිය ඉදිරියට ගමන් කර නොමැති බව කණගාටුවෙන් සඳහන් කළ යුතුය. මේ නිසා, මා වර්තමාන රජයට යෝජනා කරන්නේ මෙම ව්‍යාපෘතිය හැකි ඉක්මනින් අවසන් කරන ලෙසයි. එවිට, අනාගතයේදී අප මුහුණ දීමට සූදානම් විය යුතු දැවැන්ත අභියෝගයට යම් විසඳුමක් මෙයින් ලැබෙනු ඇත.” හර්ෂද සිල්වා මහතා පවසා ඇත.

හිටපු අමාත්‍යවරයාගේ මෙම අදහස් දැක්වීමට ට්විටර් සහ ෆේස්බුක් සමාජ මාධ්‍ය තුළ විවිධ පාර්ශ්ව කරුණු දක්වා ඇති අතර, අප්‍රේල් මාසයේදී ආරම්භ වී ඔක්තෝබර් මාසයේදී වැඩ නිමවීමට තිබූ මෙම ව්‍යාපෘතිය නොවැම්බර් මාසයේ නව රජය පත්වන තෙක්ම කල්ගත වුණේ කාගේ වරදින්ද යන්න බොහෝ දෙනෙකු සතු ප්‍රශ්නය විය.

Visits: 94