ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයෙන් ජාතික ක්‍රිකට් කණ්ඩායමට ස්තූතිය

ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයෙන් ජාතික ක්‍රිකට් කණ්ඩායමට ස්තූතිය

කොළඹ ජාතික රෝහලේ COVID-19 ප්‍රතිකාර අංශයේ දැඩි සත්කාර ඒකකය වෙත අත්‍යවශ්‍යව තිබූ Video Laryngoscope උපාංගයක් මිලදී ගැනීම සඳහා මුදල් ලබා දීම සම්බන්ධයෙන් එම රෝහලේ නිර්වින්දන සහ දැඩිසත්කාර ‍දෙපාර්තමේන්තුව ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ඇතුළු සාමාජිකයන් වෙත සිය ස්තූතිය පුද කර සිටියි.

කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න සහ මෙම කටයුතු සාර්ථක කරගැනීම සඳහා දායකත්වය ලබා දුන් නීතීඥ නිෂාන් ප්‍රේමතිරත්න යන මහත්වරුන් වෙත ලිපියක් යවමින් ජාතික රෝහල ලිඛිතව මෙම ස්තූතිය පුද කර ඇත. දැඩි සත්කාර ඒකකයේ වෛද්‍ය දිල්ෂාන් ප්‍රියංකර සහ මනෝජ් එදිරිසූරිය යන මහත්වරුන් ඊට අත්සන් තබා තිබේ.

මෙම Video Laryngoscope උපාංගය ජාතික රෝහලේ COVID-19 ප්‍රතිකාර අංශය වෙත දැඩිව අත්‍යවශ්‍යව තිබූවක් බව වෛද්‍යවරුන් පවසයි. සිය අවශ්‍යතාවට ඉක්මණින්ම ප්‍රතිචාර දැක්වීම සම්බන්ධයෙන් ජාතික ක්‍රිකට් කණ්ඩායමට සිය ස්තූතිය පුද කරන බව ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකය වැඩි දුරටත් පවසා සිටියි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදනයක් වන මෙම උපාංගය, COVID-19 ආසාදිත පුද්ගලයන් වෙත ප්‍රතිකාර කිරීමේදී ඔවුන්ගේ ශ්වසන පද්ධතියේ ඇති දෝෂ නිරාකරණය සඳහා සිදු කරන අනාලන කටයුතු වෙනුවෙන් අතිශය වැදගත් වන්නක් ලෙස හඳුනාගෙන තිබේ.

Visits: 36