පැල්වත්ත ඩේරි COVID-19 අතරදීත් කිරි එකතු කිරීම දිගටම කරනවාලු

පැල්වත්ත ඩේරි COVID-19 අතරදීත් කිරි එකතු කිරීම දිගටම කරනවාලු

රට තුළ ව්‍යාප්තව ඇති COVID-19 වසංගත තත්ත්වය මධ්‍යයේ වුවද කිරි ගොවීන්ගෙන් කිරි එකතු කිරීමේ කටයුතු නොකඩවා සිදු කරන බව පැල්වත්ත ඩේරි ඉන්ඩස්ට්‍රීස් සමාගම තහවුරු කරයි.

පවතින වසංගත තත්ත්වය හේතුවක් කරගනිමින් මෙරට කිරි ගොවීන්ගේ එදිනෙදා ජීවනෝපාය වෙත හානි සිදු නොවීම පිළිබඳ අවධානය යොමු කරමින් මෙම තීරණය ගෙන තිබෙන බව පැල්වත්ත ඩේරි ඉන්ඩස්ට්‍රීස් සමාගම වැඩි දුරටත් සඳහන් කර සිටියි.

මේ පිළිබඳව අදහස් දක්වන පැල්වත්ත ඩේරි ඉන්ඩස්ට්‍රීස්හි කළමනාකාර අධ්‍යක්ෂ අක්මාල් වික්‍රමනායක මහතා, “දේශීය කිරි නිෂ්පාදකයෙකු ලෙස අපගේ ප්‍රමුඛතම අවධානය යොමු වෙලා තිබෙන්නේ මෙම  කිරි එකතු කිරීම් අඛණ්ඩව පවත්වාගෙන යමින්, අපගේ නිෂ්පාදන ඉදිරියටත් නොකඩවා සිදු කිරීමයි. මෙලෙස අඛණ්ඩව කිරි එකතු කිරීම කිරි ගොවීන්ට අත්‍යවශ්‍ය දෙයක්. මොකද ඔවුන්ගේ ජීවනෝපාය රැඳී තිබෙන්නේ ඒ මතයි.” යනුවෙන් සඳහන් කර සිටියි.

මෙහිදී විශේෂයෙන්ම දැනට රට තුළ පවතින සෞඛ්‍ය අවදානම් තත්ත්වය පිළිබඳව සලකා බලා, සිය කිරි ආශ්‍රිත නිෂ්පාදන කටයුත්ත වඩාත් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයක් අනුව සිදු කිරීමට අවධානය යොමු කර ඇති බවත්,  එම කටයුතු සඳහා සම්බන්ධ සිය කාර්ය මණ්ඩලය ඇතුළු සියලු දෙනා වඩාත් ආරක්ෂිතව එම කාර්යයන් සඳහා දායක වන බවත් පැල්වත්ත ඩේරි සමාගම සඳහන් කරයි.

කෙසේ වෙතත් ඇතැම් ප්‍රදේශවල සම්පත් ඌණතාවය නිසා කිරි එකතු කිරීමේ ගැටලු පවතින බවත්, ඌව, මධ්‍යම, නැගෙනහිර, උතුරු මැද සහ වයඹ පළාත තුළ ක්‍රියාත්මක කිරි එකතු කිරීමේ මධ්‍යස්ථාන තුළ ඉතා හොඳ කිරි එකතු කිරීමක් සිදු කෙරෙමින් පවතින බවත් පැල්වත්ත ඩේරි සමාගම පවසයි. එහෙත් එම කිරි එකතු කිරීමේ මධ්‍යස්ථාන හරහා සිදු කරන කිරි එකතු කිරීම් මෙම අර්බුදයට මුහුණ දීම සඳහා ප්‍රමාණවත් බවත් සමාගම සඳහන් කරයි.

මේ අතර පැල්වත්ත ඩේරි ඉන්ඩස්ට්‍රීස් සමාගම මේ වනවිට සිය නිෂ්පාදන නිවෙස් වෙත ගෙනැවිත් භාරදීමේ සේවාවක්ද පවත්වාගෙන යන අතර, ඉල්ලුමේ ඇති වැඩිවීමත් සමගින්ම බෙදාහැරීමට ප්‍රමාණවත් තරම් කිරි නිෂ්පාදන නොමැතිවීමේ ගැටලුවකින්ද පසුවන බව වාර්තා පවසයි.

Visits: 45