ඇට්ලස් වෙතින් හෝමාගම රෝහලේ COVID-19 ඒකකයට ස්වයංක්‍රීය නියමු රොබෝවක්

ඇට්ලස් වෙතින් හෝමාගම COVID-19 ඒකකයට ස්වයංක්‍රීය නියමු රොබෝවක්

හේමාස් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත සමාගමක් වන ඇට්ලස් ඇක්සිලියා පීඑල්සී සමාගම විසින් මෙරටදී නිෂ්පාදනය කරන ලද ස්වයංක්‍රීය නියමු රොබෝ යන්ත්‍රයක් (Automated Guided Vehicle) හෝමාගම මූලික රෝහලේ පිහිටුවා ඇති  COVID-19 වෛරස ප්‍රතිකාර ඒකකය වෙත පරිත්‍යාග කර ඇතැයි පවසයි.

COVID-19 වෛරසය ආසාදනය වූ රෝගීන් දුරස්ථව සිට පරීක්ෂා කිරීම සහ ඔවුන්ට අවශ්‍ය සෞඛ්‍ය සත්කාර සිදු කළ හැකි රොබෝ යන්ත්‍රයක් ලෙස මෙය හඳුන්වාදී තිබේ. මෙවැනි රොබෝ යන්ත්‍රයක් මෙරටදී නිර්මාණය කෙරුණු ප්‍රථම අවස්ථාව මෙය බවත්, එහි මූලාකෘතියේ අත්හදා බැලීම් සඳහා මෙලෙස හෝමාගම මූලික රෝහල වෙත ලබා දී ඇති බවත් ඇට්ලස් ඇක්සිලියා සමාගම පවසයි.

මෙහිදී රොබෝව සම්බන්ධ ඕනෑම ගැටලුවක් හඳුනාගැනීම සහ ඊට පිළියම් යෙදීම සඳහා ඇට්ලස් කණ්ඩායම රෝහල් කාර්ය මණ්ඩලය සමග සමීපව කටයුතු කරමින් සිටින බවත් පවසයි.

මෙම රොබෝ යන්ත්‍රය, රෝගීන්ගේ ශරීර උෂ්ණත්වය පරීක්ෂා කිරීම වැනි මූලික වෛද්‍ය පරීක්ෂණ සිදු කිරී මට අමතරව රෝගීන්ට අවශ්‍ය ආහාර හා ඖෂධ රැගෙන යෑමේ  හැකියාවෙන්ද යුක්ත බව එය නිපදවූ ඇට්ලස් ඇක්සිලියා කණ්ඩායම පවසයි. එහි සවි කර ඇති කැමරා පද්ධතිය හරහා වෛද්‍යවරුන්ට දුරස්ථව සිට රෝගියා සමග සංවාදයේ යෙදෙමින් රෝගියා පරීක්ෂා කිරීමේ හැකියාව ලබා දී තිබේ.

එසේම සෞඛ්‍ය සේවකයන් විසින් ස්පර්ශ කිරීම උපරිම මට්ටමින් පාලනය කිරිම සඳහා මෙම රොබෝ යන්ත්‍රය රැහැන් රහිත (වයර්ලස්) ආරෝපණ හැකියාවෙන්ද යුක්ත වන බව පැවසෙයි. මෙමගින් රෝගීන් පරීක්ෂා කිරීම ස්වයංක්‍රීයකරණය කර ඇති බැවින්, සිය සෞඛ්‍ය රැක ගන්නා අතරම රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමේ සටහන අඛණ්ඩව දායකත්වයක් ලබාදීමටද සෞඛ්‍ය සේවකයන්ට අවස්ථාව උදා වන බවත් සඳහන් වෙයි.

Visits: 21