කොමර්ෂල් බැංකුවත් වාර්ෂික මහා සභා රැස්වීම කල් දමයි

කොමර්ෂල් බැංකුවත් වාර්ෂික මහා සභා රැස්වීම කල් දමයි

කොමර්ෂල් බැංකුව ලබන මාර්තු 30 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ සිය 51 වැනි වාර්ෂික මහා සභා රැස්වීම දින නියමයක් නොමැතිව කල් දැමීමට එහි අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර ඇතැයි සියලු කොටස්  හිමියන් වෙත නිවේදනයක් මගින් සඳහන් කරයි.

එදින පස්වරු 3.00ට කොළඹ ගලදාරි හෝටලයේ ග්‍රෑන්ඩ් බෝල්රූම් ශාලාවේදී මෙම වාර්ෂික මහා සභා රැස්වීම පැවැත්වීමට නියමිතව තිබුණි. එහිදී මේ වසරේ කොටස් ලාභාංශ නිකුත් කිරීමටද බැංකුවේ අපේක්ෂාව විය. එසේම මේ වසර කොමර්ෂල් බැංකුව සිය ශත සංවත්සරයද සමරයි.

කෙසේ වෙතත් මේ වනවිට රට තුළ ව්‍යාප්ත වෙමින් තිබෙන COVID-19 වෛරස තත්ත්වය හේතුවෙන් එය වළක්වා ගැනීම සඳහා ගන්නා පියවරක් ලෙස මෙලෙස වාර්ෂික මහා සභා රැස්වීම කල් දැමීමට තීරණය කළ බව කොමර්ෂල් බැංකු අධ්‍යක්ෂ මණ්ඩලය සඳහන් කරයි.

කොළඹ කොටස් වෙළෙඳ පොළ ලැයිස්තුගත සමාගමක් ලෙස තමන් මීට පෙර පෙබරවාරි 24 වැනිදා සහ මාර්තු 5 වැනිදාද මේ වසරේ පැවැත්වෙන වාර්ෂික මහා සභා රැස්වීම පිළිබඳව කොටස් වෙළෙඳ පොළ මෙන්ම කොටස් හිමිකරුවන්ද දැනුවත් කළ බව කොමර්ෂල් බැංකුව පවසයි.

එහෙත් මෙම වාර්ෂික මහා සභා රැස්වීම පැවැත්වීමෙන් බැංකුවේ කාර්ය මණ්ඩලයට සහ ඊට සහභාගි වන්නන්ගේ ආරක්ෂාවට සිදුවිය හැකි අනතුර පිළිබඳව දැඩිව සලකා බලා රජය නියම කර ඇති කොරොනා වෛරස ව්‍යාප්තිය වැළැක්වීමේ උපදෙස් අනුව තමන් කටයුතු කළ බව කොමර්ෂල් බැංකු අධ්‍යක්ෂ මණ්ඩලය සඳහන් කර සිටියි.

ඒ අනුව ඉදිරියේදී මෙම වාර්ෂික මහා සභා රැස්වීම පැවැත්වෙන දිනය පිළිබඳව නිවේදනයක් සිදු කරන බවත්, කොටස් ලාභාංශ නිකුත් කිරීමේ නව දිනයක්ද ඊට ඇතුළත් කෙරෙන බවත් කොමර්ෂල් බැංකුව වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Visits: 81