සංචාරකයන් 18,039කට මව් රටවලට යාමට පහසුකම් සැලසේ

සංචාරකයන් 18,039කට මව් රටවලට යාමට පහසුකම් සැලසේ

COVID-19 වසංගතයේ ව්‍යාප්තියත් සමග දැනට මෙරට තුළ පනවා ඇති ඇඳිරි නීතිය හේතුවෙන් අපහසුතාවට පත්ව සිටින සංචාරකයන් 18,000කට අධික පිරිසකට යළිත් සිය මව් රටවල් බලා යාමට අවශ්‍ය පහසුකම් සලසන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

එහිදී සංචාරකයන්ගේ ඉල්ලීම පරිදි වරලත් ගුවන් ගමන් සඳහාද ඉඩ ලබාදීමට කටයුතු සූදානම් කර තිබෙන බවත් එම අධිකාරිය නිවේදනයක් මගින් සඳහන් කර සිටියි.

“ශ්‍රී ලංකා ආගමන විගමන  දෙපාර්තමේන්තුව සඳහන් කරන ආකාරයට මාර්තු 25 වැනිදා වනවිට මෙරට රැඳී සිටින විදෙස් සංචාරකයන් සංඛ්‍යාව 18,039 ක්. එම පිරිසට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය මේ වනවිට විදේශ අමාත්‍යාංශය සහ අදාළ තානාපති කාර්යාල සමග සමීපව කටයුතු කරනවා.” එහි සඳහන් වෙයි.

විශේෂයෙන්ම දැනට රජය පනවා ඇති තහනම් අනුව ගුවන් මගීන්ට රට තුළට පැමිණීම් අත්හිටුවීමක් සිදුවුවද, සියලු පිටත්වීම් සඳහා අවසර ඇති බවත්, දැනටමත් ශ්‍රී ලංකන් ගුවන් සේවය එක්සත් රාජධානියේ ලන්ඩන්, ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් සහ ජපානයේ නරීටා යන ගුවන් තොටුපොළ වෙත දිනපතා සිය ගුවන් ගමන් ක්‍රියාත්මක කරන බවත් අධිකාරිය සඳහන් කරයි.

“ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ලෙස ඕනෑම රටකට ඔවුන්ගේ පුරවැසියන් නැවත ගෙන්වා ගැනීමට පහසුකම් සැලසුම් කර තිබේ. ඉල්ලීම පරිදි වරලත් ගුවන් ගමන් සඳහාද ඉඩ ලබාදීමට කටයුතු සූදානම් කර ඇත” නිවේදනයේ සඳහන් වෙයි.

ඒ අනුව සංචාරක කර්මාන්තයේ සේවා සපයන්නන්ට එම සංචාරකයන් ගුවන් තොටුපොළ වෙත ප්‍රවාහනය සඳහා සහාය වන ලෙස අධිකාරිය මෙම මොහොතේ කාරුණිකව ඉල්ලීමක්ද සිදු කර සිටියි.

එහිදී දැනට පවතින ඇඳිරි නීතිය යටතේ මගීන්ට මෙන්ම එම වාහනයට සහ රියදුරාටද ගුවන් ටිකට් පත ඇඳිරි නීති අවසර පත්‍රයක් ලෙස භාවිත කිරීමේ අවසරය ලබා දීමටද වැඩබලන පොලිස්පතිවරයා විසින් කටයුතු කර ඇතැයිද සංචාරක සංවර්ධන අධිකාරිය පවසා සිටියි.

එසේම ගුවන් තොටුපොළට යාමට ප්‍රවාහන පහසුකම් සොයා ගත නොහැකි සංචාරකයන්ට, ළගම පිහිටි පොලිස් ස්ථානය හෝ ශ්‍රී ලංකා සංචාරක ක්ෂණික ඇමතුම් අංකය වන 1912 අමතන ලෙසද අධිකාරිය වැඩිදුරටත් ඉල්ලා සිටියි.

Visits: 26