නිදහස් වෙළෙඳ කලාප සියල්ල වසා දැමේ! සේවකයන්ට ගම් වෙත යාමට ප්‍රවාහන පහසුකම්

නිදහස් වෙළෙඳ කලාප සියල්ල වසා දැමේ! සේවකයන්ට ගම් වෙත යාමට ප්‍රවාහන පහසුකම්

දිවයින පුරා පිහිටි නිදහස් වෙළද කලාප සියල්ලම නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා උපදෙස් දුන් බව එම අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව ඇදිරි නීතිය හේතුවෙන් තවමත් බෝඩිංවල රැදී සිටින එම නිදහස් වෙළද කළාපවල සේවක සේවිකාවන් හමුදාවේ සහ පොලිසියේ අධික්ෂණය යටතේ ඔවුන්ගේ ගම් බිම් වලට යැවීමේ වැඩ පිළිවෙලක් වහාම ක්‍රියාත්මක කරන ලෙසද ඇමතිවරයා ආයෝජන මණ්ඩලයට අද (26) උපදෙස් ලබා දී තිබේ.

අමාත්‍යවරයා සහ ආයෝජන මණ්ඩල ප්‍රධානීන් හා කටුනායක කර්මාන්ත ශාලා හිමිකරුවන්ගේ නියෝජිතයන් අතර කටුනායක ආයෝජන මණ්ඩලයේදී පැවැති විශේෂ සාකච්ඡාවේදී ඇමතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව, හෙට (26) පෙරවරුවේ සිට පොලීසිය සහ හමුදාවේ මැදිහත් වීමෙන් අදාල සේවක සේවිකාවන්ට ප්‍රවාහන පහසුකම් සැලසීමට කටයුතු යෙදී ඇත. එසේම දැනට බෝඩිං වල රැදී සිටින සේවක සේවිකාවන්ට අද රාත්‍රී ආහාරය ලබා දෙන ලෙසත්, ඊට අමතරව හෙට ගම් බිම් බලා යන සේවක සේවිකාවන්ට උදෑසන හා දිවා අහාරය ලබා දීමටත් මෙහිදී තීරණය වී තිබේ. ඊට අමතරව සේවක සේවිකාවන් ගම් බිම් බලා පිටත් කර හැරීමට පෙර ඔවුන් විශේෂ සෞඛ්‍ය පරීක්ෂාවකට ලක් කිරීමටද තිරණය වූ බව අමාත්‍යාංශය පවසයි.

මෙහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටද දුරකථනයෙන් අමතා පවතින තත්ත්වය පැහැදිලි කර ඇති අතර තවමත් නවාතැන් පොල වල රැදී සිටින සේවක සේවිකාවන් ඔවුන්ගේ ගම් බිම් බලා යැවීම සදහා ආරක්ෂක අංශවල සහය ලබාදීමටද ජනාධිපතිවරයාගේ එකගත්වය පල වී තිබේ.

එසේම දැනට කටුනායක නිදහස් වෙළ කළාපය ආශ්‍රිතව රැදී සිටින මෙම සේවක සේවිකාවන්ට අවශ්‍ය පහසුකම් සැලසීම සදහා එම වෙළද කළාපයේ කර්මාන්ත හිමියන් රුපියල් ලක්ෂ 5ක මුදලක් ඒ මොහොතේදීම පරිත්‍යාග කළ බවත් පැවසෙයි.

මේ අතර පහත සදහන් දුරකථන අංක ඇමතීමෙන් අදාල ප්‍රවාහන පහසුකම් ලබාගත හැකි වේලාවන් පිළිබදව ගම්බිම් බලා යාමට නොහැකිව සිටින වෙළද කලාප සේවක සේවිකාවක්ට තොරතුරු ලබා ගත හැකි බවත් ආයෝජන මණ්ඩලය පවසා සිටියි.

  1. කටුනායක :- අධ්‍යක්ෂක, සිසිල් ප්‍රනාන්දු මහතා – 0777-986474,
  2. වතුපිටිවල/මීරිගම/මල්වත්ත :- අධ්‍යක්ෂක, ඩී.එම් තිලකරත්න මහතා – 0777-808637
  3. බියගම :-  අධ්‍යක්ෂිකා, කල්‍යානි බොතේජු මහත්මිය – 0777-807662
  4. කොග්ගල :- අධ්‍යක්ෂක, ගාමිනි දහනායක මහතා – 077-3140200
  5. හොරණ :- අධ්‍යක්ෂක, දර්ෂන වල්පිට මහතා – 076-0387820
  6. සීතාවක :- අධ්‍යක්ෂක, නිහාල් කුමාර පීරි මහතා – 0777-808756
  7. මාවතගම/ පොල්ගහවෙල :- අධ්‍යක්ෂක, නොයෙල් දාබරේ මහතා – 0777-809102
  8. නුවර :- අධ්‍යක්ෂක, ජයලත් මොහොට්ටාල මහතා – 0777-808291

Visits: 35