COVID-19 හදිසි අවස්ථාවක් සඳහා MI-17 හෙලිකොප්ටරයක් ගුවන් ගිලන් රථයක් බවට පත් කෙරේ

COVID-19 හදිසි අවස්ථාවක් සඳහා MI-17 හෙලිකොප්ටරයක් ගුවන් ගිලන් රථයක් බවට පත් කෙරේ

ශ්‍රී ලංකා ගුවන් හමුදාව තමන් සතු MI-17 මාදිලියේ හෙලිකොප්ටර් යානාවක් හදිසි අවස්ථාවකදී යොදා ගත හැකි ලෙස ගුවන් ගිලන් රථයක් බවට හැරවීමට කටයුතු කළ බව පවසයි.

කොළඹ සිට ඈත ප්‍රදේශවලදී හඳුනාගන්නා අසාධ්‍ය තත්ත්වයේ  පසුවන COVID-19 ආසාදිත රෝගීන් වේ නම් ඔවුන් වහාම කොළඹ වෙත රැගෙන ඒම සඳහා පහසුකම් සැලසීමට මෙම ගුවන් යානය මෙලෙස වෙනස් කළ බව ගුවන් හමුදාව සඳහන් කර සිටියි.

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ උපදෙස් මත ගුවන්යානා ඉංජිනේරු අධ්‍යක්ෂවරයාගේ සුපරීක්ෂාව යටතේ, ගුවන් හමුදාවේ 06 වැනි හෙලිකොප්ටර් යානා බලඇණිය මෙම හෙලිකොප්ටර් යානය මෙලෙස ගුවන් ගිලන් රථයක් බවට පත් කර තිබේ.

මෙම හෙලිකොප්ටර් යානය මගින් එක්වරකදී රෝගීන් 12 දෙනෙකු ප්‍රවාහනය කළ හැකි බවත්, ඒ සඳහා අවශ්‍ය ගිලන් ඇද 12ක් එහි ඇති බවත් ගුවන් හමුදාව පවසයි.

එසේම COVID-19 වසංගත තත්ත්වයක් නිසා ඇති වන හදිසි අවස්ථාවකට මුහුණ දීම සඳහා කටුනායක ගුවන් හමුදා කඳවුර තුළ ගුවන් හමුදා කණ්ඩායමක් සහ වෛද්‍ය කණ්ඩායමක්ද සූදානමින් සිටින බවත් ශ්‍රී ලංකා ගුවන් හමුදාව වැඩි දුරටත් සඳහන් කරයි.

Visits: 35