තවත් පැය 6කින් කොළඹ, ගම්පහ, පුත්තලම සුපිරි වෙළෙඳ සැල් විවෘත වන වේලාවන්

තවත් පැය 6කින් කොළඹ, ගම්පහ, පුත්තලම සුපිරි වෙළෙඳ සැල් විවෘත වන වේලාවන්

රජය විසින් දැනට කොළඹ, ගම්පහ සහ පුත්තලම යන දිස්ත්‍රික්ක වෙත දින තුනක් පුරා පනවා තිබූ ඇඳිරි නීතිය 24 දා අලුයම 6.00ට ඉවත් කිරීමෙන් අනතුරුව එම දිස්ත්‍රික්කවල පිහිටි සුපිරි වෙළෙඳ සැල් පාරිභෝගිකයන්ගේ පහසුව පිණිස විවෘත කෙරෙන වේලාවන් මේ වනවිට ප්‍රසිද්ධියට පත් කෙරී ඇත.

හෙට දිනයේ පෙරවරු 6.00ට ඉවත් කෙරෙන මෙම ඇඳිරි නීතිය යළිත් මධ්‍යහ්න 12.00ට ක්‍රියාත්මක වන බැවින් එම කාලසීමාව තුළදී පමණක් මෙම සුපිරි වෙළෙඳ සැල් විවෘතව තැබීමට කටයුතු යොදා ඇතැයි ඒවායේ කළමනාකාරීත්වය සඳහන් කරයි.

ඒ අනුව මෙකී දිස්ත්‍රික්කවල පිහිටි කාර්ගිල්ස් වෙළෙඳ සැල් සියල්ලම පාහේ පෙරවරු 6.30ට ආරම්භ වී මධ්‍යහ්න 12.00 දක්වා සේවා සපයයි.

එසේම සෑම සතොස අලෙවි සැලක් සහ ලාෆ්ස් සුපර් අලෙවි සැලක්ම පෙරවරු 7.00 සිට 12.00 දක්වා විවෘතව පවතී.

කීල්ස් වෙළෙඳ සැල් අතරින් 80ක් පමණක් මෙම කාලසීමාවේදී විවෘතව පවතින අතර, අනෙකුත් අලෙවි සැල් වසා තැබීමට තීරණය වී තිබේ.

ආර්පිකෝ සුපිරි වෙළෙඳ සැල් අතරින් – හයිඩ්පාර්ක් කෝනර්, බත්තරමුල්ල, තලවතුගොඩ, මාලබේ, කොට්ටාව, නාවින්න, හෝමාගම, පිලියන්දල, බොරලැස්ගමුව, වැල්ලවත්ත, දෙහිවල, කඩවත, කිරිබත්ගොඩ, යක්කල, ගම්පහ, වත්තල, වත්තල 2, සහ මීගමුව යන අලෙවි සැල් පමණක් විවෘත කර තැබීමට තීරණය කෙරී ඇත.

මීට අමතරව ස්පාර් සුපිරි වෙළෙඳසැල් අතරින් තලවතුගොඩ සහ මාලඹේ පිහිටි වෙළෙඳ සැල් පමණක් පෙරවරු 8.00 සිට මධ්‍යහ්න 12.00 දක්වා විවෘතව තැබේ.

මෙම සුපිරි වෙළෙඳ සැල් හරහා භාණ්ඩ ලබා ගැනීමට පැමිණීමේදී COVID-19 වෛරසයෙන් මිදීම සඳහා සෞඛ්‍ය අංශ විසින් නියම කර ඇති නියමිත පූර්වාරක්ෂක ක්‍රමවේද භාවිතා කළ යුතු බවත්, කිසිදු කබලයකින් තොරව භාණ්ඩ මිලදී ගෙන යාම සුදුසු බවත් එම සුපිරි වෙළෙඳ සැල් පවසා සිටියි.

එසේම භාණ්ඩ මිලදී ගැනීමේදී මුදල් නෝට්ටුවලට වඩා හැකිතාක් කාඩ්පත් භාවිත කිරීම සුදුසු බවත් ඔවුන් පෙන්වා දී සිටියි.

Visits: 35