නිරෝධායන මධ්‍යස්ථාන වෙත ප්‍රීමා ලංකා වෙතින් තිරිගුපිටි, කුකුල්මස්, සොසේජස්, බිත්තර, යෝගට්

නිරෝධායන මධ්‍යස්ථාන වෙත ප්‍රීමා ලංකා වෙතින් තිරිගුපිටි, කුකුල්මස්, සොසේජස්, බිත්තර, යෝගට්

ඉතාලිය සහ දකුණු කොරියාවේ සිට මෙන්ම මෑතකදී විදෙස් ගතව සිට මෙරටට පැමිණ දැනට නිරෝධායන මධ්‍යස්ථානවල රඳවා සිටින පිරිසගේ පරිභෝජනය සඳහා ප්‍රීමා ලංකා සමාගම සිය නිෂ්පාදන තොගයක් ලබා දීමට කටයුතු යොදා ඇතැයි වාර්තා වෙයි.

මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය, අභ්‍යන්තර වෙළෙඳ, ආහාර සුරක්ෂිතතාවය හා පාරිභෝගික සුබසාධන අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ප්‍රීමා ලංකා සමාගම මෙම ආහාර ද්‍රව්‍ය ලබා දුන් බව එම අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව ප්‍රීමා ලංකා සමාගම මගින් තිරිගු පිටි මෙට්‍රික් ටොන් 200ක්, කුකුල් මස් ටොන් 20ක්, සොසේජස් ටොන් 2ක්, බිත්තර ලක්ෂ දහයක් සහ යෝගට් 5,000ක් ලබා දීමට කටයුතු යොදා ඇතැයි අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙම ආහාර ද්‍රව්‍ය තොගය නිසි කළමනාකාරීත්වයක් යටතේ නිරෝධායන මධ්‍යස්ථාන වෙත බෙදා හැරීම සඳහා ශ්‍රී ලංකා යුද  හමුදාව වෙත භාරදුන් බවත් අමාත්‍යාංශය වැඩි දුරටත් පවසා සිටියි.

පසුගිය මාර්තු 21 වැනිදා වනවිට දිවයින පුරා පිහිටි නිරෝධායන මධ්‍යස්ථාන 22ක් තුළ පුද්ගලයන් 3,063ක් නිරෝධායනයට ලක් වෙමින් සිටි බව පැවසෙයි. ඉන් පළමු කණ්ඩායම ලෙස නිරෝධායනයට ලක් වූ පුද්ගලයන් 350 දෙනෙකු හෙට දිනයේදී නිදහස් කිරීමට කටයුතු යොදා ඇතැයි කෝවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ කාර්ය සාධක බලකායේ ප්‍රධානී, වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද සඳහන් කළේය.

Visits: 28