බංග්ලාදේශයේ සිටින ශ්‍රී ලාංකිකයෝ යළි ඒමට ජනපතිගේ අවසර ඉල්ලති

බංග්ලාදේශයේ සිටින ශ්‍රී ලාංකිකයෝ යළි ඒමට ජනපතිගේ අවසර ඉල්ලති

බංග්ලාදේශය තුළ රැකියාවේ නිරතව සිටින ශ්‍රී ලාංකිකයන්ට හැකි ඉක්මණින් එරටින් පිටත්ව මෙරටට පැමිණීමට අවශ්‍ය අවසරය ලබා දෙන ලෙස බංග්ලාදේශයේ ශ්‍රී ලංකා සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියි.

එම සංගමයේ සභාපති ඇන්ජෙලෝ ලියනගේ මහතා විසින් ජනාධිපතිවරයා වෙත ලිපියකින් ඉදිරිපත් කරමින් මේ පිළිබඳව කරුනු දක්වා සිටියි.

විශේෂයෙන්ම අද වනවිට බංග්ලාදේශය තුළ ව්‍යාප්ත වෙමින් පවතින COVID-19 වසංගතයෙන් ඔවුන් ගැලවී යළිත් කටුනායක ගුවන් තොටුපොළ හරහා මෙරටට පැමිණීමට අවශ්‍ය අවසරය ලබා දෙන ලෙස ඔහු ඉල්ලා තිබේ.

අද වනවිට මෙරටින් පිටත්ව ගිය බොහෝ පිරිසක් බංග්ලාදේශයේ රැකියා කරමින් සිටින බවත්, ඒ අතරින් වැඩි පිරිස වෘත්තිකයන් බවත් එම සංගමය සඳහන් කරයි. ඔවුන් ගෙවුණු වසර ගණනාව තුළදීම අතිවිශාල විදේශ විනිමය ප්‍රමාණයක් මෙරටට ගෙන ඒමට හැකි වූ බවත්, ඔවුන් මෙරට ආර්ථිකය වෙත දැක්වූ දායකත්වය පිළිබඳව සලකා බලා ඔවුන්ට යළිත් මව් රට පැමිණීමට අවශ්‍ය අවසරය ලබා දෙන ලෙසත් සභාපතිවරයා ජනපතිවරයාගෙන් ඉල්ලා සිටියි.

”බංග්ලාදේශ ශ්‍රී ලංකා සංගමයේ (මෙය බංග්ලාදේශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් අනුග්‍රහය දක්වන ශ්‍රී ලාංකිංක සංගමයකි) සභාපතිවරයා ලෙස අද වනවිට එහි වෙසෙන ශ්‍රී ලාංකික ජනතාව මුහුණ දී ඇති තත්ත්වය පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු කරන්නට කැමතියි. සංගමයේ අනෙකුත් සාමාජිකයන් සමගින්ද සිදු කළ සාකච්ඡාවකින් පසුව, එහි රැඳී සිටින මෙම පිරිසට හැකි ඉක්මණින් මෙරටට පැමිණීමට අවශ්‍ය කටයුතු සලසා දෙන මෙන් මෙහිදී ඉල්ලා සිටිමි.” එහි සඳහන් වෙයි.

මෙහිදී එම පිරිස යළිත් මෙරටට රැගෙන ඒම සඳහා ලබන මාර්තු 27 වැනිදා සිට 29 වැනිදා දක්වා වන සති අන්තයේදී ක්‍රියාත්මක වන ලෙස ශ්‍රී ලංකන් ගුවන් යානයක් යොමු කිරීමට අවශ්‍ය අවසරය ලබා දී කටයුතු සම්පාදනය කරවන ලෙසද එම සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියි.

බංග්ලාදේශයේ ශ්‍රී ලංකා සංගමයේ සභාපතිවරයා විසින් ජනාධිපතිවරයා වෙත යවා ඇති ලිපිය.

Visits: 48