COVID-19 කියා අපිට වෙනස්කම් කරන්න එපා – ශ්‍රී ලංකන් ජනතාවගෙන් ඉල්ලයි

COVID-19 කියා අපිට වෙනස්කම් කරන්න එපා – ශ්‍රී ලංකන් ජනතාවගෙන් ඉල්ලයි

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩලය වෙත COVID-19 ආසාදනය වීමේ අවදානම සම්බන්ධයෙන් සලකා එම පිරිස් කිසිදු ලෙසකින් පීඩාවට පත් කිරීම හෝ අපහසුතාවන්ට පත් නොකරන ලෙස ශ්‍රී ලංකන් ගුවන් සමාගම ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ආසන්න කාලසීමාවේදී සමාජ මාධ්‍ය හරහා පළ වූ ප්‍රවෘත්ති තුළ ශ්‍රී ලංකන් කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් සමාජයෙන් වෙනස් කොට සැලකීමක් දක්නට ලැබුණු බවත්, විශේෂයෙන්ම හෝටල්, පාසල් සහ රෝහල් වැනි පොදු ස්ථානවලදීද ගුවන් සමාගම් කාර්ය මණ්ඩල සාමාජිකයන්ට සහ ඔවුන්ගේ ආසන්නතම පවුල්වල සාමාජිකයන්ට වෙනස්කම් කිරීම්, පීඩාවන්ට පත් කිරීම් සහ අපහසුතාවන්ට ලක් කිරීම් වාර්තා වීම අතිශයින්ම අවාසනාවන්ත තත්ත්වයක් බවත් ගුවන් සේවය සඳහන් කරයි.

එහිදී ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය ලෙස ශ්‍රී ලංකන් ගුවන් සේවය සෞඛ්‍යයට, පුද්ගලික ආරක්ෂාවට අවදානමක් පවතින අවස්ථාවක පවා රජයට සහ ශ්‍රී ලංකාවේ ජනතාවට ගුවන් සේවා සැපයීම සඳහා අත්‍යවශ්‍ය සේවාවක් ලෙස වර්ගීකරණය කර ඇතැයි ගුවන් සේවය පවසයි.

එසේම COVID-19 වෛරසය විසින් සිදු කරන ලද මෙම බරපතල හා අභියෝගාත්මක ගෝලීය අර්බුදය තුළදී පවා මගී හා භාණ්ඩ මෙහෙයුම් සහ භූමි සේවා සඳහා ගුවන් සේවයේ කාර්ය මණ්ඩලය පැය 24 පුරා අඛණ්ඩ සේවාවක් සපයන බවත් සමාගම සඳහන් කරයි.

”ජාතික ගුවන් සේවය වශයෙන් මෙහෙයුම් කටයුතු වල නිරත කාර්ය මණ්ඩලයට සිය රැකියාවේ ස්වභාවය අනුව අනිවාර්යයෙන්ම සාමාන්‍ය ජනතාව, ජාත්‍යන්තර සංචාරකයින් සහ ආනයනික හා අපනයනය කරන භාණ්ඩ සමග මුහුණට මුහුණලා කටයුතු සිදු කිරීමට සිදු වෙයි.”

එහෙත් සිය මෙහෙයුම් කාර්ය මණ්ඩලය බෝවන රෝග තත්ත්වයක් යටතේ පියාසර කිරීම පිළිබඳ විධිමත් හා ආරක්ෂිත පුහුණුවක් ලබා ඇති බවත්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියමයන්ට අනුකූලව මෙහෙයුම් ආරක්ෂාව සම්බන්ධයෙන් නිරන්තර යාවත්කාලීන වන බවත් ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසයි.

එසේම ගුවන් සේවයේ ආයතනික සෞඛ්‍ය වෛද්‍ය සේවාවන් විසින් කාර්ය මණ්ඩලයේ සහ ඔවුන්ගේ පවුල්වල කායික සහ මානසික පැවැත්ම පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු සලසන අතර, මගීන්ගේ සහ මෙහෙයුම් කාර්ය මණ්ඩලයේ සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා ගුවන් යානා ඉතා ගැඹුරින් පිරිසිදු කිරීමේ කටයුතු සිදු කරන බවත් ගුවන් සමාගම වැඩිදුරටත් පවසා සිටියි.

ඒ අනුව මෙවැනි තත්ත්වයක් යටතේ සිය කාර්ය මණ්ඩලය හෝ ඔවුන්ගේ පවුලවල සාමාජිකයන් අපහසුතාවට පත් කරන ආකාරයේ ව්‍යාපාර තොරතුරු සමාජ මාධ්‍ය තුළ ව්‍යාප්ත කිරීමට දායක නොවන ලෙසද ගුවන් සේවය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Visits: 33