COVID-19 රෝගීන් වෙනුවෙන් ‘ඇමෙරිකානු හඬ’ ප්‍රධාන ගොඩනැගිල්ලත්?

COVID-19 රෝගීන් වෙනුවෙන් ‘ඇමෙරිකානු හඬ’ ප්‍රධාන ගොඩනැගිල්ලත්?

රට තුළ ව්‍යාප්ත වී ඇති COVID-19 වසංගතය ආසාදනය වන රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා පුත්තලම ඉරණවිල පිහිටි ඇමෙරිකානු හඬ ගුවන් විදුලි සම්ප්‍රේෂණාගාරය පිහිටුවා තිබූ ගොඩනැගිල්ල යොදා ගැනීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇතැයි වාර්තා වෙයි.

යම් හෙයකින් පුත්තලම ප්‍රදේශය ආශ්‍රිතව COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යාමක් සිදුවුවහොත් ඊට පිළියම් ලෙස මෙම ගොඩනැගිල්ල යොදා ගැනීම පිළිබඳව යෝජනා වී තිබේ.

දැනටමත් මෙරට ප්‍රධාන පෙළේ සමාගම් තුනක් සිය සුඛෝපභෝගී හෝටල් තුනක් COVID-19 නිරෝධායන කටයුතු සඳහා ලබා දීමට කැමැත්ත පළ කර තිබියදී රජය තවත් මෙවැනි විකල්ප පිළිබඳව විමසමින් සිටියි.

මෙලෙස ලබා දීමට කැමැත්ත පළ කළ හෝටල් අතර, හේමාස් හෝල්ඩිංග්ස් වෙත අයත් මීගමුව වයික්කාලේ පිහිටි හේමාස් ක්ලබ් හොටෙල් ඩොල්ෆින් හෝටලයද පවතී.  එසේම වස්කඩුවේ පිහිටි සිට්‍රස් වස්කඩුව සහ ත්‍රිකුණාමලයේ පිහිටි ට්‍රින්කෝ බ්ලු බයි සිනමන් යන හෝටල්ද ඇත.

කෙසේ වෙතත් හැකි ඉක්මණින්ම යුද හමුදා සාමාජිකයන්ගේ සහාය ලබා ගෙන ඇමෙරිකානු හඬ පරිශ්‍රයේ පිහිටි මෙම ගොඩනැගිල්ල අලුත්වැඩියා කරමින් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත් කරවන බව COVID-19 වළක්වා ගැනීම සඳහා වන කාර්ය සාධක බලකායේ සාමාජික, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පවසා ඇත.

පුත්තලම දිස්ත්‍රික්කයේ ඉරණවිල පිහිටි හෙක්ටයාර 166.038ක භූමි ප්‍රමාණයක මෙම ‘ඇමෙරිකානු හඬ’ ගුවන් විදුලි සම්ප්‍රේෂණාගාරය ඉදිකර තිබුණි. 1991 වසරේදී එවකට පැවැති රජය විසින් මෙම ඉඩම එක්සත් ජනපද තානාපති කාර්යාලය වෙත බදු දෙන ලදි.

ඒ අනුව මෙම ඉඩමේ බදු ගිවිසුම අවලංගු කරමින් එම ඉඩම රජය පවරා ගැනීම සඳහා වන අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූයේ 2017 ජනවාරි මාසයේදීය.

එහිදී අදාළ බදු ගිවිසුම් කාලය අවසන්වීමට පෙර එම සම්ප්‍රේෂණාගාරය වසා දමා අදාළ ඉඩම මෙන්ම එම පරිශ්‍රයේ පිහිටි අනෙකුත් වත්කම්/දේපළ ශ්‍රී ලංකා රජය වෙත භාරදීමට අපේක්ෂා කරන බවද එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් එම අවස්ථාවේදී දැනුම් දී තිබුණි.

දැනටමත් මුල්ලේරියාවේ පිහිටි IDH රෝහලද ඇතුළුව රෝහල් 18ක් COVID-19 රෝගීන් භාරගැනීම සඳහා වෙන් කර තිබේ.  එසේම අවශ්‍යතාවක් ඇති වුවහොත් IDH රෝහලට ආසන්නයේ පිහිටි මුල්ලේරියාව රෝහලේ රෝගීන්ද ඉන් ඉවත් කර එයද මෙම COVID-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීමට යොදා ගැනීමට සූදානමක් පවතී. මීට අමතරව හෝමාගම මහ රෝහලද අවශ්‍යතාව අනුව මේ සඳහා යොදා ගැනීමේ සූදානමක් පැවතුණි.

මේ අතර, COVID-19 ආසාදිත බවට සැක කෙරෙන ගැබිනි මව්වරුන්ට ප්‍රතිකාර කිරීම සඳහා කාසල් වීදියේ කාන්තා රෝහලේ පූර්ණ අධීක්ණය යටතේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ වෙනම ඒකකයක් පිහිටුවීමටත්, වේරහැර පිහිටි කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පිහිටි ඇදන් 30කින් යුත් හදිසි ප්‍රතිකාර ඒකක යොදා ගැනීමත් අපේක්ෂාව වී තිබේ.

දැනටමත් මෙරට රජයේ රෝහල් සතුව හදිසි ප්‍රතිකාර ඇඳන් සහ වෙන්ටිලේටර් උපාංග ඇත්තේ 600ක් පමණක් බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසා ඇත.

Visits: 75