ට්‍රින්කෝ බ්ලූ බයි සිනමන් හෝටලය නිරෝධායනයට දීමට JKH කැමැත්ත

ට්‍රින්කෝ බ්ලූ බයි සිනමන් හෝටලය නිරෝධායනයට දීමට JKH කැමැත්ත

ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම වෙත අයත් සිනමන් හෝටල් සමූහය යටතේ පවත්වාගෙන යන ට්‍රින්කෝ බ්ලූ බයි සිනමන් (Trinco Blu by Cinnamon) හෝටලය COVID-19 වසංගතය හේතුවෙන් නිරෝධායනයට ලක් කෙරෙන පිරිස් රඳවා තබා ගැනීම වෙනුවෙන් ලබා දිය හැකි බව ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම පවසයි.

එහි සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් ලියමින් මෙම වසංගත තත්ත්වය රටෙන් තුරන් කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙලට සහාය දැක්වීමක් ලෙස හෝටලය ලබා දෙන බව පවසා ඇත.

කාමර 81 කින් සමන්විත මෙම ට්‍රින්කෝ බ්ලූ බයි සිනමන් හෝටලය ත්‍රිකුණාමලය මුහුදු වෙරළට ආසන්නයෙන් පිහිටා තිබේ.

ශ්‍රී ලංකා හෝටල් සංගමයේ (THASL) සාමාජිකයන් පසුගියදා රැස්වී ගත් එකඟතාවකට අනුව එහි සාමාජිකයන් කිහිප දෙනෙකුම සිය හෝටල් පරිශ්‍ර COVID-19 වසංගතය හේතුවෙන් නිරෝධායනයට ලක් කෙරෙන පිරිස් රඳවා තබා ගැනීම වෙනුවෙන් ලබාදීමට කැමැත්ත පළ කර තිබේ. එසේම රාජකාරිවලින් පසුව සිය නිවෙස් බලා යාමට අපහසු සෞඛ්‍ය කාර්ය මණ්ඩල වෙතද ඒවායෙහි පහසුකම් සැපයිය හැකි බව ඔවුන් එහිදී පවසා තිබුණි.  මෙම හෝටල් ජනාකීර්ණ නගරවලින් ඈත්ව පිහිටි ඒවා වීම විශේෂත්වයකි.

එහි ප්‍රතිඵලයක් ලෙස දිලිත් ජයවීර සහ වරුණි අමුණුගම ප්‍රනාන්දුගේ හිමිකාරීත්වයෙන් යුත් හෝටල් කාමර 150කින් සමන්විත සිට්‍රස් වස්කඩුව හෝටලයද මෙම නිරෝධායන කටයුතු වෙනුවෙන් ලබා දීමට කැමැත්ත පළ කෙරිණි. ඒ සඳහා වන අවසන් තීරණය ලබන සඳුදා ගැනීමට නියමිතව ඇත.

Visits: 48