COVID-19 එරෙහි සටනට ධම්මික පෙරේරාගෙන් රු.මිලියන 70 ක්

COVID-19 එරෙහි සටනට ධම්මික පෙරේරාගෙන් රු.මිලියන 70 ක්

මෙරට තුළ ව්‍යාප්ත වෙමින් පවතින COVID-19 වසංගතයට එරෙහි සටන සඳහා අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් සැපයීම වෙනුවෙන් තමන් සිය පෞද්ගලික ධනයෙන් රුපියල් මිලියන 70ක ප්‍රදානයක් සිදු කරන බව මෙරට ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා මහතා පවසයි.

මීට වසර කිහිපයකට පෙර මෙරට අංක එකේ ධනවතාව සිටි ධම්මික පෙරේරා මහතා අද ඩේලි එෆ්ටී පුවත්පත වෙත මේ කරුණු අනාවරණය කර තිබේ.

ඒ අනුව තමන් මෙම මුදලින් COVID-19 වෛරසය ආසාදනය වූවන් වැඩි පිරිසක් ප්‍රතිකාර ලබන කොළඹ අයි.ඩී.එච්. රෝහල සඳහා අවශ්‍ය දැඩිසත්කාර වැන්ටිලේටර් කට්ටල හයක් ගුවන් මගින් ඇනවුම් කිරීමට කටයුතු යොදන බව පවසා ඇත.

එසේම රෝහල් ඇඳ 485ක් නැව් මගින් රැගෙන එන බවත්, ඒ අතර දරුවන් සහ වැඩිහිටියන් සඳහා වන දැඩි සත්කාර ඇඳ 169ක්ද වන බව ධම්මික පෙරේරා මහතා මෙහිදී පවසා ඇත.

අද වනවිට වැලිබල් වන් ගෘප් ඇතුළුව සමාගම් රැසකම හිමිකරුවා වන ධම්මික පෙරේරා මහතා එම සමාගම්වල සභාපතිවරයා ලෙස මෙන්ම උප සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙසද කටයුතු කරයි.

අද වනවිට ඔහු සතු සමස්ත වත්කම එක්සත් ජනපද ඩොලර් මිලියන 550ක් හෙවත් රුපියල් බිලියන 70ක් බව වාර්තා පවසයි.

ධම්මික පෙරේරා මහතා මීට වසර කිහිපයකට පෙර ගෙන්වන ලද සීමිත නිෂ්පාදනයක් වන Bentley Mulsanne Hallmarks රථයේ වෙළෙඳ පොළ වටිනාකම රුපියල් මිලියන 160 ක් විය.

Visits: 58